ලෝකයේ ඕනෑම දෙයක් පිළිබඳ තීන්දු, තීරණ හා නිගමන ගනු ලබන්නේ දත්ත සහ සත්‍ය තොරතුරු මත පදනම් කරගනිමිනි. එය විද්‍යාත්මක ක්‍රමවේදයකි.
රටක, ප්‍රදේශයක හෝ යම් ආයතනයක පාලන අධිකාරිය විසින් හෝ ඒ ඒ විෂයානුබද්ධ පිළිගත් පර්යේෂකයන් (ව්‍යාජ පර්යේෂකයන් නොවේ) ඉදිරිපත්කරනු ලබන තොරතුරු ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්වෙයි. ඒ මත අනාගත සැළසුම් සැකසීම පිළිගත් ක්‍රමවේදයයි.
පසුගිය වර්ෂ 100ක අතීතය සැළකූ විට ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති සියලුම දර්ශකවලින් ලබා ඇත්තේ විශාල ප්‍රගතියකි. දියුණුවකි.
මෙරට පුද්ගලයකුගේ අපේක්ෂිත ආයුකාලය වැඩි වී ඇත. මාතෘ හා ළදරු මරණ අනුපාතය බෙහෙවින් පහත වැටී ඇත. වසූරිය, ලාදුරු, මැලේරියාව, බරවා වැනි රෝග පාලනය වී ඇත. පෝලියෝ වැනි රෝග තත්වයන් ද බෙහෙවින් අඩු මට්ටමකට පත්ව තිබේ. කොටින්ම කිවහොත් අපි කුඩා කළ ගම්වල දුටු කුදු ගැසුණු ගැමියන් මෙන්ම බෙල්ලේ වායු ගෙඩි සහිත මිනිසුන් දැන් දක්නට නැති තරම්ය.
මෙරට ප්‍රතිශක්තීකරණ වැඩසටහන සමස්ත ලෝකයටම ආදර්ශයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගන්නා කරුණකි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ගැටලු කොතෙක් ඇතත් ඒ වෙනුවෙන් කැපවූ වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම වසර 100ක පමණ අතීතයේ කරන ලද සියලු කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස අපි එම තත්වයට පත්ව ඇත. ඒ සඳහා විවිධ කාලවකවානුවල මෙරට බලයට පත්වූ රජයයන් අඩු වැඩි වශයෙන් නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ම බොහෝ සේ දායක වී ඇති බ කිව යුතුය.
සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන ගිය එ් වෙනුවෙක් කැපවූ සියලු දෙනාත්, ප්‍රතිපත්ති සම්පාදකයෝත් ජයග්‍රහණ රැසක් උරුම කරගෙන තිබේ.
නමුත්, රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඇත්තේ මීට වාඩා හාත්පසින්ම වෙනස් තත්වයකි.
1948 දී ශ්‍රී ලංකාව නිදහස ලබනවිට මෙරට මුදල් සංචිත තිබිණි. ලෝකයේ කිසිදු රටකට ණය වී තිබුණේ නැත. එදා සිට අද දක්වා ගෙවී ගොස් ඇති වසර 73කට මදක් වැඩි කාලයේ දී රටේ ආර්ථිකය වළ පල්ලටම ඇද වැටී ඇත. ආර්ථිික දර්ශක අතින් අපට වඩා බොහෝ පිටුපසින් සිටි දුප්පත් රාජ්‍යයක් වූ බංග්ලාදේශයෙන් ණය ලබාගත් ලොව ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්විය. දැන් අපි ට්‍රිලියන ගණනක් ලෝකයට ණය වී ඇති අතර ඇතැම් අවස්ථාවල දී ණය ගෙවාගත නොහැකි රාජ්‍යයක් ලෙස අසාදු ලේඛනගත වී තිබේ.
උද්දමනය වේගයෙන් වැඩි වී තිබේ. රුපියල බාල්දු වී ඇත. අපනයනයන් ඇතත්, ප්‍රධාන මිනිස් අවශ්‍යතා වූ ඖෂධ, ආහාර, ඉන්ධන ඇතුළු බොහෝ දේ වෙනුවෙන් ආනයනය මත යැපෙන රාජ්‍යයක් වූ අපට භාණ්ඩ ආනයනයට ඩොලර් නොමැති තත්වයට රටේ ආර්ථිකය බිඳ වැටී තිබේ.
නමුත් අපේ රටේ කෝටි ප්‍රකෝටි පතියෝ සිටිති. නමුත් එවැනි ධනවතුන් පිළිබඳ සියුම්ව නිරික්ෂණය කළහොත් බොහෝ දෙනකු බිලියනපතියන් වී ඇත්තේ නිෂ්පාදන ආර්ථිකයක් තුලින් නොවේ. කොළඹ කොටස් වෙළෙඳ පොළ දෛනිකව ඉහළ යමින් ලෝකයේ හොඳම කොටස් වෙළෙඳ පොළ බවට පත්ව ඇත. එහි ඇතැම් සමාගම් ලේඛනගත දත්ත අනුව පවා ඉහළින් වැජඹෙයි. නමුත් සිදුකරන නිෂ්පාදනයක් නැතිනම් ඔවුන් කරන්නේ ඉලක්කම් හරඹයකින් ආර්ථික දර්ශක ඉහළ නැංවීම පමණි.
ගමේ ජීවත්වන කුඹුරු කොටා, වපුරා බත සරිකරන අසරණ ගොවියන් වහ බොද්දී ඔවුන්ගෙන් නොවිමසා සහල් මිල තීරණය කරන රජය වී මෝල් හිමියන්ගේ මාෆියාවට යටවී සිටිති. කෙටියෙන් කියන්නේ නම් මුදලාලිලා ආර්ථිකය හසුරුවයි.
වසර 73කට වැඩි කාලයක් මේ ආකාරයෙන් ආර්ථික තීන්දු තීරණ ගැනීමේ ප්‍රතිඵලය වූයේ අප ලොව අසමත් රාජ්‍යයක් බවට පත්වීමයි. නමුත් තීරණ ගන්නා පුද්ගලයන්, උපදෙස් දෙන්නන් සහ ප්‍රධාන ව්‍යාපාරිකයන් කෝටිපතියන් වී සිටියි.
මේ සමාජ යථාර්ථයයි.
සමස්ත ලෝකයේ ම ජනතාව වෙනුවෙන් අතිශය වැදගත් විෂයයක් ලෙස සැළකෙන ප්‍රජා වෛද්‍ය විද්‍යාවේ දී රටක සමාජයක ආර්ථික හා සමාජයීය දත්ත ඉතාමත් වැදගත් ලෙස සැළකීම සාමාන්‍ය සංසිද්ධියකි. ඒ අනුව දුප්පතුන් (අඩු ආදායම් ලාභීන්) මධ්‍යම පාන්තිකයන්, ධනවතුන්, සුපිරි ධනවතුන්, නාගරික, අර්ධ නාගරික, ග්‍රාමීය, වතු ආශ්‍රිත යනුවෙන් විවිධ ආර්ථික හා සමාජයීය කුලකයන්ට බෙදා ඒවායේ සෞඛ්‍ය ගැටලු හා අවශ්‍යතා හඳුනාගෙන විසඳුම් සොයයි. ඒ නිසාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දී ආර්ථික දත්ත වැදගත් වේ.
නමුත්, ආර්ථික නිර්දේශවල දී සෞඛ්‍ය දත්ත සළකා බැලීමක් කිසිසේත්ම සිදුවන්නේ නැත.
අද ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ එයයි.
සෞඛ්‍ය ගැන සිතීමේ දී ආර්ථිකය ගැන පවා සැළකිලිමත් වූ බැවින් අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලෝකයේ සුරක්ෂිිතම රටක් බවට ක්‍රමයෙන් පත්වීමු.
නමුත් වැරදි තීන්දු තීරණ මත පදනම්ව දශක 07ක දී ලෝකයේ අසමත්ම රාජ්‍යයක් බවට පත්වූ ශ්‍රී ලංකාව ඒ අසමත්භාවයේ වළ පල්ලේම සිටිමින් සෞඛ්‍ය ගැන නොසළකා ආර්ථිකය ගැන හිතන්නට ගොස් දැන් ලොව ප්‍රශස්ථ මට්ටමක පැවති සෞඛ්‍ය සේවාව ද විනාශ කරමින් සිටියි.
හිතන්න,
2017 වර්ෂයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවල දිනකට මෙරට රෝහල්තුළ හදවත් රෝගීන් 18ක්, බෝවන රෝග හේතුවෙන් 15ක්, පිළිකා හේතුවෙන් 14ක් පමණ මියයන බව දක්වා ඇත. ඒ අනුව රෝහලක දිනකට මියයන සම්පූර්ණ ගණන 128ක් පමණ පිරිසකි.
නමුත් දැන් සියල්ල වෙනස් වී තිබේ. 2021 අගෝස්තු 20 දිනයේ දී කොරෝනා හේතුවෙන් පමණක් 198 දෙනකු රෝහල්වල දී මියගිය බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තා කළේය. (නිවෙස්වල මියයන පුද්ගලයන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු නොකිරීමේ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බැවින් මෙරට සිදුවන සත්‍ය කොරෝනා මරණ සංඛ්‍යාව මෙම ලේඛනයට ඇතුළත් වන්නේ නැත)
මේ අනුව ශ්‍රී ලංකාවේ මරණවලට ප්‍රධානත ම හේතුව වන හදවත් රෝගවලින් දිනකට රෝහල්වල දී මියයන ප්‍රමාණය මෙන් 10 ගුණයකට වැඩි මරණ සංඛ්‍යාවක් දිනකට කොරෝනා හේතුවෙන් මියයයි.
ප්‍රශස්ත මට්ටමක තිබූ සෞඛය සේවාවන් පිළිබඳ අසාර්ථක වූ ආර්ථික ක්‍රම අනුව තීරණ ගන්නා විට සිදුවන දේ ගැන කීමට දැන්ම කල් වැඩි බව පමණක් අපි අවසාන වශයෙන් සටහන් කරමු.
සටහන – සජීව විජේවීර
(රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනෙත් අගම්පොඩි විසින් සමාජ මාධ්‍ය ජාලයක තැබූ සටහනක් අනුසාරයෙන් සකස්කරන ලදී)