spot_img
spot_imgspot_img

දකුණේ අවදානම තේරුම් ගනිමු

පුවත්

විදෙස්

දකුණු පළාතෙන් අද (21) දෑසන 8.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 1,146 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

තවමත් දකුණේ ඇත්තේ කොරෝනා අධි අවදානම් තත්වයකි. දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙහි ම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 49 අතරින් ගත වූ පැය 24 දී ආසාදිතයකු හමුවී නැත්තේ තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණි. නමුත් එම කොට්ඨාසය තුළ මේ දැනට ආසාදිතව පුද්ගලයන් 61 දෙනකු තවමත් සුවය නොලබා සිටිති.

දකුණු පළාතෙන් මේ දක්වා හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 43,865කි. ඒ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 22,782ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 14,224ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 6,859ක් වශයෙනි.

මෙහි විශේෂත්වය වන්නේ කොරෝනා මෙරට පැතිරීම ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිට 2021 ජූලි 31 දක්වා ගත වූ මාස 16කට ආසන්න කාලයේ දී වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 26,750 සිට අගෝස්තු මාසයේ දී මෙතෙක් අවසන් වූ අද දින වාර්තාව නිකුත්කරන මොහොත දක්වා අලුතෙන් ආසාදිතයන් 17,115ක් එකතු වී දකුණේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 43,865ක් දක්වා වර්ධනය වී තිබීමයි.

අගෝස්තු මාසයේ දී මීට පෙර මාස 16කට වඩා ආසාදිතයන් වාර්තා වීම 63% කින් වර්ධනය වී තිබේ. තවත් ආකාරයකින් කියන්නේ නම් කොරෝනා ආරම්භයේ සිට මේ දක්වා දකුණු පළාතෙන් වාර්තා වූ ආසාදිතයන් අතරින් 63%ක් ම වාර්තා වී ඇත්තේ 2021 අගෝස්තු මාසයේ දී ය.

පසුගිය ජූූලි 31 දක්වා ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තා වී තිබුණේ 14,716ක් පමණි. නමුත් එම සංඛ්‍යාව ආගෝස්තු මාසයේ දී වේගයෙන් ඉහළ ගොස් අද වනවිට වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 22,782ක් බවට පත්ව ඇත්තේ 8,066කින් ඉහළ යමිනි. අගෝස්තු මාසයේ ආසාදිතයන් වාර්තා වීම ඊට පෙර සියලු මාසවලට වඩා 54.81% වර්ධනයකි.

එනම්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණයෙන් අර්ධයකටත් වඩා වාර්තා වී ඇත්තේ 2021 අගෝස්තු මාසයේ ගත වූ දින කිහිපයේ දී ය.

මාතර දිස්ත්‍රික්කයේ ද කොරෝනා ආසාදිතයන්ගෙන් 64.47% ම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අගෝස්තු මාසයේ දී වීම විශේෂත්වයකි. ජූලි 31 වැනි දා දක්වා සමස්ත වසංගත කාලයේ දී වාර්තා වී තිබූ ආසාදිතයන් සංඛ්‍යාව 8,648ක් වන අතර එය 5,576කින් ඉහළ ගොස් ආසාදිතයන් 14,224ක් දක්වා වැඩි වී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් වාර්තාවීම වඩාත්ම වේගවත් වී ඇති බව දත්ත විශ්ලේෂණයේ දී පෙනී යයි.

2020 මාර්තු මාසයේ සිට 2021 ජූලි 31 දක්වා ‍හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වූයේ 3,386ක් ලෙසිනි. නමුත් එය අද (21) වනවිට 6,859ක් දක්වා වර්ධනය වී ඇත්තේ 102% වර්ධනයක් පෙන්වමිනි. අගෝස්තු මාසයේ දී පමණක් ඊට පෙර සියලු මාසවල දී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සියලුම ආසාදිතයන්ට වඩා ආසාදිතයන් වාර්තා වී තිබීම විශේෂත්වයකි. එම සංඛ්‍යාව 3,473කි.

මෙතෙක් දකුණු පළාතෙන් වාර්තා වූ ආසාදිතයන් අතරින් 11,666 දෙනකු තවමත් සක්‍රීය ආසාදිතයන් ලෙස සිටින බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් නිකුත් කළ වාර්තාවේ දක්වා ඇත.

ඉන් වැඩි පිරිසක් සිටින්නේ නිවෙස්වලය. ඔවුහු නිවෙස්වල නිරෝධායනය වෙති. එම ‍ආසාදිතයන් නිවෙස්වල නිරෝධායනය වුව ද ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතය සහ සංස්කෘතික ලක්ෂණ අනුව ඔවුන්ට නිවසක තනිව හුදකලා වී සිටිය හැකි ද යන්න ගැටලුවක් තිබේ.

පසුගිය දිනවල නිවසක එක් අයකු ආසාදිත වූ විට නිවැසියන් සියලු දෙනාම ආසාදිත වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණේ එබැවිනි.

සංචරණ සීමා නොමැති විට මේ නිවෙස්වල එක්කෙනෙක් හෝ හොර රහසේම අසළ කඩපිලට හෝ යන බවත් ඇතැම් අවස්ථාවල දී තමන්ගේ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ගැනීමට විවිධ ස්ථානවලට යන බවත් අපි නිරීක්ෂණය කර ඇත්තෙමු. එබැවින් කොරෝනා පාලනය පහසු වූයේ නැත.

නමුත් ඉදිරි දිනවල දී දැඩි සංචරණ සීමා පනවා ඇති බැවින් දකුණේ සිටින මෙම සක්‍රීය ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ගෙන් සමාජයට කොරෝනා බලපෑම අවම වනු ඇතැයි යන්න අපේකෂිතය.

දැනට දකුණේ පුද්ගලයන් 24,779 දෙනකු නිවෙස්වල ම නිරෝධායනය කර තිබේ. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 5,128ක පුද්ගලයන් 15,026ක්, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 2,098ක පවුල් 6,653ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1,385ක පුද්ලයන් 3,100ක් වශයෙනි.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ නිල සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ දකුණු පළාතෙන් කොරෝනා ආසාදිත මරණ 474ක් වාර්තා වී ඇති බවයි. ඒ පසුගිය අගෝස්තු 13 වැනි දිනට තිබූ යාවත්කාලීන දත්ත අනුවය. 13 වැනි දිනයෙන් අවසන් වූ සතියේ දී පමණක් මරණ 57ක් පිළිබඳ දත්ත සටහන් කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත මරණ සංඛයාව 343ක්, මාතර දිස්ත්‍රික්කයේ සමස්ත මරණ සංඛ්‍යාව 96ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත මරණ සංඛ්‍යාව 35ක් ලෙස එම ලේඛනයේ දක්වා තිබේ.

එම නිල ලේඛන කෙසේ වෙත් අප සතුව ඇති දකුණේ මරණ පිළිබඳ ලේඛනයේ මෙම සංඛ්‍යාව මීට වඩා වැඩි අගයක් ගනී.

මෙම සටහ අප විසින් සකසන ලද්දේ රජයේ නිල සංඛ්‍යාලේඛන දත්ත උපයෝගී කරගනිමිිනි. අප සතුව ඇති දත්ත ඒ සඳහා භාවිතා කර නැත. නමුත් ඉදිරි දිනයක දී අප සතු දත්ත හා රජයේ නිල සංඛ්‍යාලේඛන අතර පරස්පරයන් සහිත විග්‍රහයක් සිදුකිරීමට අප අපේක්ෂිතය.

දකුණේ සියලු දෙනාම තේරුම්ගත යුතු දෙයක් තිබේ. නිරෝධායන ඇඳිරිනීති කාලයේ දී අත්‍යාවශ්‍ය සේවාවන්වලට බව පවසමින් විවිද කරුණු සඳහා නිවසින් බැහැරව නොයා සෞඛ්‍ය ආරක්ෂිතව සිටීම ඔබේ සහ ඔබගේ සමීපතමයන්ගේ ආරක්ෂාවට ඉතාමත් වැදගත්වේ.

පසුගිය අගොස්තු 11 වැනි දා සිට අද (21) දිනය දක්වා ගත වූ දින 10 දී දින දකු‍ණු පළාතෙන් දෛනික ආසාදිතයන් වාර්තාවීම දින 07ක දී ම 1,000 ඉක්මවා ගොස් තිබේ. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පුසුගිය 17 වැනි දින දී ය. එම සංඛ්‍යාව 1,457කි.

ඒ අනුව 17 වැනි දා ද ඇතුළුව එදින සිට අද දක්වා පමණක් දකු‍ණු පළාතෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 6,062කි.

දැන් අහඹු පීසීආර් පරීක්ෂණ හෝ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකෙරෙන්නේ නැත. ආසාදිත වූ අයගේ සමීපතම ආශ්‍රිතයන් හා රෝග ලක්ෂණ ඇති අය පමණක් ඇන්ටිජන් හා පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමෙන් මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් පසුගිය දින කිහිපයේ වාර්තා වී තිබේ.

එසේනම් තවත් කොතරම් හඳුනා නොගත් ආසාදිතයන් සාමාන්‍ය ජන සමාජයේ සිටිනු ඇත්ද යන්න ‍මෙය කියවන ඔබ තේරුම්ගත යුතුය.

ඔබ මේ වනවිටත් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වී තිබිය හැකිය. ඔබේ පවුලේ අයකු එසේ වී සිටින්නට ඉඩ තිබේ.

ඒ නිසා අවදානම තේරුම් ගන්න. අවබෝධයෙන් සිටින්න. කොරෝන මාරාන්තිකය. ශ්‍රී ලංකාවේ වේගයෙන් පැතිරයන ඩෙල්ටා ප්‍රභේදය අන් සෑම ප්‍රභේදයකටම වඩා මාරාන්තිකය.

නිරෝධායන ඇඳිරිනීතිය යොදා ඇත්තේ නිවෙස්වල ම සිටින්නට විනා ඇඳිරිනීතිය අතරතුර තැන තැන සංචරණය කිරීමට නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!