කොළඹ කොටස් වෙළෙද පොළ අද (18) දිනයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරමින් ඉතා කාර්යක්ෂමව ගනුදෙනු සිදුවනු දක්නට ලැබුණු අතර වෙළෙඳ පොළ කාලසීමාව වන පැය තුනහමාරක දී කොටස් ගනුදෙන 48,089ක් වාර්තා කිරීමට සමත්විය.
එය මෑත කාලීනව දැකිය හැකිවූ දිනක් තුළ සිදුවූ වේගවත් හා සීඝ්‍ර ගනුදෙනු රටාවක් වූ අතර දිනය තුළ දී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 208.3 කින් වර්ධනය වී එය 8,343ක් බවට පත්විය.
දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 6,378කි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් මිල විශාල වශයෙන් ඉහළ ගිය අතර එම සමාගම ඉතා කෙටි කාලයක දී කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වැඩිම වටිනාකම් සහිත දෙවැනි සමාගම බවට පත්විය.
අද දිනයේ කොටස් වැඩි වශයෙන් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,700යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 574යි, LOLC Finance සමාගම රුපියල් මිලියන 301ක් ලෙස ප්‍රධාන වශයෙන් කැපී පෙණිනි.
දිනයේ වඩාත් සක්‍රීයව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම, LOLC Finance සමාගම, රයිගම වයඹ ලුණු සමාගම කැපී පෙණිනි.
අද සිදුවූ කොටස් ගනුදෙනු තුළ LOLC Finance සමාගමෙන් සහ Commercial Leasing and Finance සමාගමේ විකිණීමට නියමිතව තිබූ සියලු කොටස ඉතා කෙටි කාලසීමාවක් තුළ ගැනුම් කරුවන් විසින් මිල දී ගත් අතර දිනය අවසන්වන තුරු කොටස් මිල දී ගැනීම් සඳහා ගැනුම්කරුවන් පමණක් මිල ලැයිස්තුවේ රැඳී සිටින ලදී.
විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 86ක කොටස් මිල දී ගෙන තිබූ අතර රුපියල් මිලියන 60ක කොටස් විකුණා තිබේ. ඒ අනුව දිනයේ ශුද්ධ ලෙස රුපියල් මිලියන 26ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශිකයන් විසින් අලුතෙන් එක්කර තිබිණි.
විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 26.6යි, සොෆ්ට් ලොජික් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 11.9යි, ජැට් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 7.7යි ලෙස ප්‍රධාන විය. විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 14.6යි, හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 10යි, ඩිප්ට් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 2.3ක් ලෙස මූලික විය.
ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණය වීමෙන් භාණ්ඩ හා සේවාවන් අපනයනය කරන සමාගම්වලට වැඩි ලාභයක් ලැබීම හේතුවෙන් එම සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකන්ගේ දැඩි ආකර්ශනයක් ඇති වී තිබේ.
ඒ අනුව එක්ස්පෝ ලංකා සමාගම, එල්ඕඑල් සී සමූහය, හේලීස් සමාගම, ඩිප් ප්‍රඩක්ට් සමාගම, හේකාබ් සමාගම, ටෙක්චර්ස් ජර්සි සමාගම, හේලීස් එම්ජීටී සමාගම යන සමාගම්වල කොටස් මිල දිගින් දිගටම ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙයි.
(විශ්ලේෂණය නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)