කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 2,907ක් වශයෙන් ද සමස්ත කොටස් මිල දර්ශකය ඒකකින් 197.2කින් ඉහළ ගොස් එය දිනය අවසානයේ ඒකක 8,161 ලෙස දැක්විණි.
දිනයේ වැඩි වශයෙන් කොටස් ගනුදෙනු සමාගම් අතර එක්ස්පෝර් ලංකා සමාගම රුපියල් මිලියන 870යි, ඇලුෆැක් සමාම රුපියල් මිලියන 253යි, LOLC Finance සමාගම රුපියල් මිිලියන 212ක් ලෙස මූලික විය.
දිනයේ වඩාත් සක්‍රීයව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම, එල්‍ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සහ කමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම කැපී පෙණිනි.
කොටස් හුවමාරු සමාගම් අතර ඇලුෆැක් සමාගමට හිමි කොටස් බිලියන 27.6ක් රුපියල් 9.10ක් බැගින් හුවමාරු විය.
විදේශීය ආයෝජකයන්ගේ අද දිනයේ කොටස් මිල දී ගැනීම රුපියල් මිලියන 90ක් වූ අතර කොටස් විකිණීම රුපියල් මිලියන 123ක් විය. ඒ අනුව රුපියල් මිලියන 33ක මුදලක් විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.
දේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම රුපියල් මිලියන 78.8යි, ජැට් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 02යි, ෆී ඒකර් ෆාර්ම් සමාගම රුපියල් මිලියන 1.6ක් ලෙස වාර්තා විය. විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 78.2යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 34.5යි සහ ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 1.9ක් ලෙස ප්‍රමුඛ විය.
කොළඹ කොටස් වෙළෙඳ පොළ වර්තමානයේ පවතින තත්වයන් මත කෙටි කාල සීමාවක් තුළ ඉතිහාසයේ වාර්තා වූ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය ඉක්මවා වර්ධනය වනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළ කර සිටියි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති මුදල් බදු සංශෝධන පනත් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ මතය ව්‍යවස්ථාදායකය වෙත දැනුම් දී ඇති බැවින් ඉතා ඉක්මණින් මුදල් බදු සංශෝධන පනත සම්මත වනු ඇතැයි යන විශ්වාසය ද එම බදු සංශෝධනය වීමෙන් අනතුරුව දැනට විදේශයන්හි ආයෝජනය කර ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සහ ඩයස්පෝරා මුදල් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කිරීමේ වැඩි ඉඩක් ඇතැයි ආයෝජකයන් තුළ දැඩි විශ්වාසයක් ගොඩනැගී තිබේ.
(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)