කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) පැය 2.00ක කාලයක් වසා දමා තිබූ අතර දිනයේ ගනුදෙනු ආරම්භ කරන ලද්දේ දහවල් 1.00 ට පමණය. එයට හේතු වූයේ අද සිට ක්‍රියාත්මක වන Delivery versus payment (DVP) ක්‍රමවේදය හඳුන්වාදීමේ දී තැරැව්කාර සමාගම් 14ක් ක්‍රියාත්මක කරනු ලබන පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂයකි.
මෙවැනි අක්‍රියවීම් කොළඹ කොටස් වෙළෙඳ පොළ වැනි සීඝ්‍රයෙන් වර්ධනය වූ කොටස් වෙළෙඳ පොළක් කෙරෙහි ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට විශාල බාධාවක් වෙයි. ශ්‍රී ලංකාවේ පරිගණක සමාගම් කිහිපයක් විසින් එක්සත් රාජධානිය, සිංගප්පූරුව වැනි නවීන කොටස් වෙළෙඳ පොළෙවල්වල පවා සම්පූර්ණ පරිගණක පද්ධති ක්‍රියාත්මක කරන අවස්ථාවක ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙද පොළ තුළ මෙවැනි අක්‍රියවීම් සිදුවීම බරපතල ගැටලුවකි.
අද දිනයේ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු පැය එකහමාරකට සීමා වූ අතර දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 834කි.
දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 59කින් පහළ ගිය අතර එය 7937ක් ලෙස සටහන් විය.
වඩාත් සක්‍රීයව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 120යි, LOLC සමාගම රුපියල් මිලියන 116, අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 77 යි ලෙස ප්‍රධාන විය.
දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය පහළ යාම කෙරෙහි 42% ප්‍රතිශතයකින් බලපා තිබෙන්නේ LOLC Development (නන්ද ඉන්වෙස්ට්මන්ට්) සමාගමේ කොටස් මිල පහළ යාමයි.
විදේශීය ආයෝජකයන්ගේ ගනු දෙනු සැළකූ විට ඔවුන්ගේ කොටස් මිල දී ගැනීම රුපියල් මිලියන 18.3ක් වූ අතර කොටස් විකිණීම රුපියල් මිලියන 19.3ක් විය. ඒ අනුව රුපියල් මිලියන 01ක මුදලක් ඔවුන් කොටස් වෙළෙඳ පොළ ආයෝජන අතරින් ඉවත් කරගෙන තිබිණි.
කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි අලුතෙන් හඳුන්වා දී ඇති DVP (Delivery versus payment) ක්‍රමවේදය ලෝකයේ බොහෝ දියුණු කොටස් වෙළෙඳ පොළෙවල්වල ක්‍රියාත්මක වන ආයෝජකයන්ගේ වඩාත් විශ්වාසය දිනාගත් ක්‍රමයක් වන අතර එමගින් ද විදේශීය ආයෝජකයන් කොළඹ කොටස් වෙළෙඳ පොළ කෙරෙහි ආකර්ශනය වනු ඇතැයි බලධාරීන් විශ්වාස කරයි.
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ