මාතර දිස්ත්‍රික්කයේ කනංකේ ප්‍රදේශයේ නිරෝදායනයට යොමුකර සිටි 51 හැවිරිදි පුද්ගලයකු නිවසේ දී ම මියගොස් එම දේහය ඉදිරි කටයුතු සඳහා රෝහලට යැවීම පැය 18ක් ම ප්‍රමාද වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
නිවසක මරණයක් සිදුවූ විට එය ප්‍රථමයෙන් ම ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දිය යුතු අතර ඉන්පසු ග්‍රාම නිලධාරීවරයා විසින් දේහය නිදහස් කිරීම හෝ නැතිනම් මරණ පරීක්ෂවරයකු සඳහා යොමුකිරීම සිදුකරයි.
කොරෝනා ආසාදනය හා සම්බන්ධ මළ සිරුරක් නම් ග්‍රාම නිලධාරීවරයාට නිදහස් කිරීමට හැකියාවක් නැත. ඉන් පසු සිදුවි යුත්තේ එම සිරුර පිළිබඳ පොලිසියට දැනුම් දීමයි. පොලිසිය විසින් අදාල ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකවරයා වෙත ඒ බව දැනුම් දිය යුතුය.
හදිසි මරණ පරීක්ෂකවරයාගේ තීරණය අනුව ඉදිරි කටයුතු සිදුවේ. නිරෝධායනය වන නිවසක මරණයක් සිදුව ඇත්නම් එය පීසීආර් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා රෝහලකට යැවීම සිදුකරයි. ඒ සඳහා හදිසි මරණ පරීක්ෂකවරයා විසින් පොලිසියට නියෝගයක් ලබාදෙන අතර ඒ අනුව සිරුර යැවීමේ වගකීම ඇත්තේ පොලිසියටය.
ප්‍රදේශවාසීන් පවසන්නේ මේ සිරුර රෝහලකට යොමුකළ නොහැකිව පැය 18ක් නිවසේ තබාගෙන සිටි බවයි. ඉන් පසු මේ බව දැනගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණ එම සිරුර අද (16) දහවල් කරාපිටිය ශික්ෂණ රෝහලට යවා ඇත.