ඇෆ්ගනිස්ථානයේ අගනුවර තලේබාන් සංවිධානය විසින් අල්ලාගැනීමෙන් පසුව කාබුල් ගුවන්තොටුපලට රැස්වූ දහස් ගණන් ඇෆ්ගන් වැසියන් ගුවන්යානා වලට ගොඩවීමට පොරකෑම හේතුවෙන් පස් දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
ඔවුන්, තෙරපීම හේතුවෙන් හෝ වෙඩි තැබීමකින් මියයන්නට ඇතැයි සැකකරන බව රොයිටර් පුවත් සේවය පවසයි.
මේ වනවිටත් ඇමරිකන් හමුදාව විසින් කාබුල් ගුවන්තොටුපල ආරක්ෂා කරන අතර සිය දහස් ගණනක් ඇෆ්ගන් ජාතිකයන් සහ විදේශිකයන් අතරමංව සිටින බව පැවසේ.
පිරිස විසිරුවා හැරීම සඳහා ඇමරිකන් හමුදාව අහසට වෙඩි තැබූ බවද වාර්තා වී ඇත.
ඇමරිකාව නිවේදනය කර ඇත්තේ, ඇමරිකා තානාපති කාර්යාල කාර්යමණ්ඩලය, ඔවුන්ගේ පවුල්වල අය, ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටි දහස් ගණන් ඇමරිකානු වැසියන් සහ අවදානමට ලක්විය හැකි ඇෆ්ගන් ජාතිකයින් ඉදිරි දිනවලදී ගුවන් මගින් ගෙන්වා ගන්නා බවයි.
ඇමරිකාව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 60කට වැඩි ප්‍රමාණයක් තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටියේ, පිටව යෑමට කැමති ඕනෑම කෙනෙකුට ඒ සඳහා අවසර ලබා දෙන ලෙසයි.පාරවල්, ගුවන්තොටුපොළ සහ මායිම් විවෘතව තබන ලෙසත් ඔවුහු තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටියහ.
ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානිගේ රජය බිඳ වැටීමෙන් පසු ජනාධිපතිවරයා විදේශගත වූ අතර ඉස්ලාමීය තලේබාන් සන්නද්ධ කණ්ඩායම් කාබුල් නගරය අල්ලා ගැනීමත් සමග ඊයේ ඔවුහු (15) සිය ජයග්‍රහණය ප්‍රකාශ කළහ.
කාබුල් නගරයෙන් බොහෝ විදේශ හමුදා ඉවත් වීම හේතුවෙන් ඉස්ලාමීය කණ්ඩායමට පාලනය අල්ලා ගැනීම පහසු විය.
මේ අතර ඇෆ්ගනිස්ථානයේ පවතින වාතාවරණය සම්බන්දව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවීමට රුසියාව සැලසුම් කර ඇත.