කොරෝනා වසංගතය පිළිබඳ නිවැරදි දත්ත ලබාදුන් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්නගේ දිස්ත්‍රික්යේ දෛනික දත්ත මාධ්‍යවේදීන් වෙත නිකුත් කරන දෛනික වාර්තාව මේ වනවිට නවතා දමා තිබේ.
ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිකුත්කරනු ලබන වාර්තාවේ ඇති දත්ත සහ කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත්කරන වාර්තාවේ ගම්පහ දිස්ත්‍රික්කය සම්බන්ධව ඇති දත්ත අතර විශාල පරස්පරයක් දක්නට ඇති බව rata.lk අපි දින කිහිපයක් ම හෙලි කළෙමු. පසුව ඒ පිළිබඳ කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් ද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කෙරිණි.
පසුගිය 10 වැනි දා ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 2,000ක් වාර්තා වූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවේ සඳහන් වුව ද කොළඹින් නිකුත් කළ ජාතික වාර්තාවේ දැක්වූයේ එම සංඛ්‍යාව 402ක් බවයි. 11 වැනි දා ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 1,827ක් වාර්තා වූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වාර්තාවේ දැක්වුණු අතර ජාතික වාර්තාවෙන් දක්වා තිබුණේ එදින ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදියන් සංඛ්‍යාව 35ක් ලෙසිනි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් පසුගිය 07 වැනි දා නිකුත් කළ වාර්තාවේ සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෙට්ඨාසයේ ආසාදිතයන් 171 දෙනකු පමණක් සඳහන් වුව ද එදින එම කොට්ඨාසයෙන් ආසාදිතයන් 199 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය. එයින් තහවුරු වන්නේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නිකුත් කරන වාර්තාවේ සඳහන් රෝගීන් සංඛ්‍යාවටත් වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඉදිරිපත් කරන වාර්තාවේ සඳහන් රෝගීන් සංඛ්‍යාව කොළඹ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන වාර්තාවේ සඳහන් නොවීම පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රශ්න කළ විට සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙතෙක් අඛණ්ඩව නිකුත්කළ දෛනික වාර්තාව නිකුත්කිරීම නවතා දමා තිබීමයි.
එම කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ ඉහළ නියෝගයක් හේතුවෙන් එම වාර්තාව නිකුත් නොකිරීමට සිදුව ඇති බවයි.
මේ ගැන නිවැරදි තොරතුරු දැනගැනීම සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විමසීමට උත්සාහ ගත්ත ද ඔහු කිසිදු ඇමතුමකට ප්‍රතිචාර දක්වන්නේ නැත.