ගාල්ල පිලාන ප්‍රදේශයෙන් ලැබුණු බව කියමින් අමුත්තකු විසින් තම කාර්යාලයට ගෙනවිත් දුන් අමුතු ලී කැබැල්ල වසර 30,000කට පමණ පෙරාතුව ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් භාවිතා කරන ලද දැවමය ආයුධයක් විය හැකියැයි පුරාවිද්‍යාව පිළිබඳ පර්යේෂකයකු වන බුද්ධි නාගොඩවිතාන මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ තමන් ගාල්ල කොටුව පුරාවිද්‍යා කාර්යාලයේ සිටිය දී රත්ගම ජස්ටින් නමැති මහත්මයකු විසින් මෙම දැව කොටස රැගෙන ආ බවයි.
ඔහු ළිඳක් හාරමින් සිටිය දී අඩු 12ක් පමණ ගැඹුරේ දී විශාල ජල කඳක් ගලාගෙන ආ බවත් ඒ ජලයේ මේ දැව කොටස තිබූ බවත් පවසා ඇත. මෙහි යම් පුපරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සිතා එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගෙන ඒමට කටයුතු කළ බව ජස්ටින් මහතා පවසා ඇත.
මෙම දැව කොටස සාමාන්‍යයෙන් කුඹුරුවල සහ මඩ වගුරුවල දැකිය හැකි මිල්ල වැනි අරටු කොටසක් විය හැකියැයි සිතා එය පරීක්ෂාකර බැලූ නාගොඩවිතාන මහතාගේ තීරණය වූයේ ඇතැම් විට මෙය ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිතා කළ දෙයක් විය හැකි බවයි. මේ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අළහකෝන් මහත්මියට දැනුම් දුන් විට අළහකෝන් මහත්මිය සහ තවත් නිලධාරිනියක වන මංජුලා බුලත්සිංහල මහත්මිය ද එය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මතය වූයේ ද සාමාන්‍ය අරටු කැබැල්ලක් විය නොහැකි බවත් එය කිසියම් කාර්යයකට භාවිතා කරන ලද්දක් විය හැකි බවයි.
ඒ අනුව එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ (කැණීම්), මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතාට පෙන්වූයේය.
එය පරීක්ෂා කළ ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ අදහස වූයේ මෙය ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිතා කළ දැවමය ආයුධයක් විය හැකි බවයි. ඒ පිළිබඳ ආචාර්ය පෙරේරා මහතා මෙසේ කීවේය.
” ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන් දැවමය ආයුධ විශාල වශයෙන් භාවිතා කරලා තිබෙනවා. ඒවා කාලයත් සමග දිරායන නිසා අපිට දකින්න ලැබෙන්නේ නැහැ. හමුවන්නේ ගල් ආයුධ පමණයි. නමුත් මෙය අවුරුදු දහස් ගණනක් මඩ තට්ටුවක් සමඟ තිබී ආරක්ෂා වන්නට ඇත. මෙහි එක් පැත්තක් උල්කර තිබෙනවා. ගලක අතුල්ලා උල්කරන්න ඇති. පැරණි මානවයන් ආහාර සොයා යාමේ දී පොළොව සමග විශාල අරගලයක් කළා. කුඩා සතුන්ගේ ගුල් හාරා ඔවුන් ආහාරයට ගැනීමට, අල වර්ග ගලවා ආහාරයට ගැනීමට බිම් හෑරීමේ දී දැව ආයුධ තමයි වැඩි වශයෙන් භාවිතා කරන්නේ. ඒ වගේම සතුන් දඩයම් කිරීමට, මසුන් අල්ලා ගැනීමට දැව ආයුධ භාවිතා කළා. මේ එවැනි ආයුධයක් බව අපි අනුමාන කරනවා. නමුත් මේ ගැන ස්ථිර නිගමනයක් කරන්න නම් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි. පුරාවිද්‍යාත්මකව මෙහි පෘෂ්ඨය සියුම්ව පරීක්ෂා කර බලා අපිට නිගමනය කළ හැකියි එය සැබැවින් ම දැවමය ආයුධයක් ද කියලා. ඒ වගේ ම මෙය කාබන් සංස්ථානික කාල නිර්ණය මගින් කවර කාලපරිච්ඡේදයකට අයත්වනවා ද කියා සොයාගත හැකියි.”
පුරාවිද්‍යා නිලධාරී බුද්ධි නාගොඩවිතාන මහතා පවසන්නේ මෙය කිසියම් පුද්ගලයකු විසින් භාවිතා කළ බවට සියුම්ව පරීක්ෂා කිරීමේ දී පෙනී යන බවයි. ඔවුන්ගේ අනුමානය මෙම ආයුධය වසර 30,000ක් පැරණි හෝ ඒ ආසන්න කාලයකට අයත්විය හැකි බවයි.
ඉතාමත් දුර්ලභ ගනයේ ලී ආයුධයක් වන මෙය වැඩිදුර පර්යේෂණ සඳහා යොමු කිරීමට කටයුතු යොදා ඇති අතර පසුව එය මාතර තාරකා කොටුව කෞතුකාගාරයේ තැන්පත් කරන බව බුද්ධි නාගොඩවිතාන මහතා පැවසීය.
ඡායාරූප – බුද්ධි නාගොඩවිතාන මහතා