ශ්‍රී ලංකාවේ දැනට වාර්තාවන කොරෝනා මරණන හා ආසාදිතයන් සංඛ්‍යාව පාලනය කරගත නොහැකි වුවහොත් ලබන ජනවාරි මාසය වනවිට කොරෝනා ආසාදිතයන් 18,000ට වැඩි පිරිසක් මියයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ විශේෂඥයන් පිරිසක් සහ මෙරට විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් ඒකාබද්ධව සැකසූ මෙම වාර්තාව ඊයේ (12) සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දී තිබේ.
දැනට පවතින වසංගත තත්වය පාලනකිරීම සඳහා නිර්දේශ රැසක් ද එම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත. සති කිහිපයකට හෝ ඇඳිරිනීතිය පැනවීම, සංචරණ සීමා දැඩිකිරීම, දිස්ත්‍රික් වශයෙන් සීමා පැනවීම, සියලුම ආකාරයේ සෙනඟ එක්රැස්වීම් සති තුනකට කාලයක් මුළුමනින්ම තහනම් කිරීම, සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කිරීම සහ නිවැරදි දත්ත හා තොරතුරු සන්නිවේදනයෙන් ජනතාව දැනුම්වත් කිරීම, ආසාදියන් හා මරණ පිළිබඳ දත්ත නිවැරදිව ලබා දීම යන කරුණු ඉටුකරන ලෙස ඔවුන් අවාධාරණය කර තිබේ.
තව ද වයස අවුරුදු 60ට වැඩි සියලු පුරවැසියන් හැකි ඉක්මණින් එන්නත් කිරීම ද අත්‍යාවශ්‍ය බව පෙන්වා දී ඇත.
මේ සඳහා අසිත ද සිල්වා, රජිව් ද සිල්වා, සරෝජ් ජයසිංහ, ඉන්දික කරුණාතිලක, නීලිකා මලවිගේ, කාමිනි මෙන්ඩිස්, මලීක් පීරිස්, මංජු වීරසිංහ යන මහාචාර්ය වරු සමඟ පාලිත අබේකෝන්, නිහාල් අබේසිංහ, රජිව් ද සිල්වා, ලක්කුමාරි ප්‍රනාන්දු, පද්මා ගුණරත්න, ආනන්ද විජේවික්‍රම යන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥයන් 30 දෙනකු සහභාගී වී ඇත.