කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනියේ රුපියල් මිලියන 4,136ක පිරිවැටුමක් වාර්තා කළ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 114කින් පහළ ගොස් දිනය අවසානයේ ඒකක 7,980ක් බවට පත්ව තිබිණි.
දිනයේ වැඩි වශයෙන් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 839යි, සන්ශයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 356යි, රේණුක කැපිටල් සමාගම රුපියල් මිලියන 349යි වශයෙන් කැපී පෙණිනි.
වඩාත් සක්‍රීය කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම, අම්බන් හෝල්ඩින්ස් සමාගම සහ LOLC සමාගම ප්‍රධාන විය.
අද දිනයේ මූලික කොටස් නිකුතුවක් ලෙස කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනු ආරම්භ කළ මහජනතාවට කොටසක් රුපියල් 28 බැගින් මිල නියම කළ ජැට් හෝල්ඩින්ස් සමාගමේ කොටස් ආරම්භයේ රුපියල් 29 ඉක්මවා ගනුදෙනු වූ අතර දිනයේ ගනුදෙනු අතරතුර විශාල වශයෙන් පහතට ගොස් රුපියල් 24.20ක් ලෙසට වාර්තාවීම විශේෂත්වයකි.
කොළඹ කොටස් වෙළඳ පොළෙහි මූලික කොටස් නිකුතු අතුරින් ගනුදෙනු ආරම්භ කළ දිනයේ ම මූලික මිලටත් වඩා ජැට් හෝල්ඩින් සමාගමේ කොටස් මිල පහතට වැටීම අනපේක්ෂිත සිද්ධියකි.
අද දිනයේ විදේශ ආයෝජකයන්ගේ කොටස් මිල දී ගැනීම රුපියල් මිලියන 106ක් වූ අතර, කොටස් විකිණීම රුපියල් මිලියන 485ක් විය. ඒ අනුව රුපියල් මිලියන 379ක ශුද්ධ මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් විදේශීය ආයෝජකයන් විසින් ඉවත්කරගෙන ඇත.
විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම රුපියල් මිලියන 49යි, ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 09යි, මෙල්ස්ටර් කොප් සමාගම රුපියල් මිලියන 04ක් ලෙස ද ප්‍රධාන විය. විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 335යි, සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 57යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 37යි ලෙස ද සටහන් විය.
අද දිනයේ සිලෝන් ටුබැකෝ (ලංකා දුම්කොළ සමාගම) එක් කොටසක් වෙනුවෙන් රුපියල් 19ක ලාභාංශයක් නිකුත් කරන ලදී. සමස්ත කොටස් මිල දර්ශකය 8,000ක සීමාව ඉක්මවූ අවස්ථාවේ දී බොහෝ ආයෝජකයන් තමන් අඩු මිලට මිල දී ගත් කොටස් විකුණා ලබාගත් ලාභයන් මුදල් බවට පත්කිරීම හේතුවෙන් සමස්ත කොටස් මිල දර්ශකය තාවකාලික පහත බැසීමක් පෙන්නුම් කර තිබේ.
කෙසේ වෙතත් දැනට පවතින හිතකර සාධකයන් මත කොටස් වෙළෙඳ පොළ තවදුරටත් වර්ධනය වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියති.
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ