ලිට්රෝ ගෑස් හිගයක් ද මේ දිනවල තිබෙන බැවින් රට පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබාගැනීම සඳහා දිගු පෝළිම් දක්නට ලැබිණි.
නමුත් ලිට්රෝ සමාගම පවසන්නේ ප්රමාණවත් තරම් ගෑස් තොග වෙළෙඳ පොළට නිකුත් කර තිබෙන බවයි. එසේ වුව ද ගෑස් හිගයක් ඇතිවනු ඇතැයි සිතා ජනතාව වැඩි වශයෙන් ගෑස් මිල දි ගැනීම හේතුවෙන් මෙවැනි පෝළිම් ඇතිවී තිබෙන බවයි.
අප සමඟ අදහස් දැක්වූ පාරිභෝගිකයන් මෙසේ පවසයි.
“අපිට අමතර ගෑස් සිලින්ඩර නෑ. මේ ගෙදර තියෙන එකම සිලින්ඩරේ. ඒක ඉවර වුණා. දැන් 10 තැනකට විතර ගියා ගෑස් ගන්න තැනක් නෑ.”
“කහපාට සිලින්ඩරේ ගෙනාවත් ගෑස් දෙනවා කිව්වා. දැන් කහ එක විතරක් නෙවෙයි නිල් එකත් නෑ.”
අපි මේ පිළිබඳ ගෑස් නියෝජිත ආයතන කිහිපයකින් විමසූ විට එක් අයකු කියා සිටියේ තමන් ගෑස් සිලින්ඩර 40ක් ඉල්ලූ විට අද (09) ලැබුණේ ගෑස් සිලින්ඩර 12ක් පමණක් බවයි. එමෙන්ම යළි ගෑස් ගෙනවිත් දෙන්නේ බ්රහස්පතින්දා යැයි පැවසූ බව ද ඔහු කියයි.
තවත් ගෑස් නියෝජිත ආයතනයක් කියා සිටියේ ඔවුන් ගෑස් සිලින්ඩර 170ක් ඇණවුම් කළ විට ලැබුණේ සිලින්ඩර 60ක් පමණක් බවයි.
නියෝජිත ආයතනයක හිමිකරුවකු මෙසේ කීවේය.
“ අපේ පාරිභෝගිකයන් ගෑස් ගෙනියන්නේ අමතර සිලින්ඩරවලට නොවෙයි. ගෙදර ගෑස් සිලින්ඩරය ඉවර වුණාම ඇවිත් ඉල්ලනවා. ඒත් ඉතින් දෙන්න ගෑස් නෑ. දැන් නිකුත් කරන්නේ ඉතාම අඩුවෙන්.”
ගෑස් හිගයක් නැතැයි පවසන ලිට්රෝ සමාගම නියෝජිත ආයතනවලට දැනුම් දී ඇත්තේ කිසිම ගෑස් සිලින්ඩරයක් පාරිභෝගිකයන්ට අළෙවි නොකරන ලෙසයි. මේ අනුව පාරිභෝගිකයකුට අලුතෙන් ගෑස් සිලින්ඩරයක් මිල දී ගැනීමට දැන් හැකියාවක් නැත. ඔවුන්ට දින ගණන් බලා සිට පෝළිමේ පැය ගණන් රස්තියාදු වී පැරණි ගෑස් සිලින්ඩරය දී අලුතෙන් ගෑස් සහිත සිලින්ඩරයක් ලබාගැනීමට පමණක් හැකියාව ඇත.