කොරෝනා ව්‍යාප්තිය අඩුකර රටේ ජනතාවගේ ජීවිත බේරාගැනීමටනම් අවම වශයෙන් සති කිහිපයකට හෝ රට අඟුළු දැමීම අත්‍යාවශ්‍ය බවත් එසේ නොවුණහොත් මහා විනාශයක් කරා රට ඇදී යනු ඇති බවත් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංසදය පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ සෞඛ්‍ය පද්ධතියට දැනට පවතින තත්වය දරාගත නොහැකි ලෙස වැඩි වී ඇති බවයි. මේ හේතුවෙන් රෝගීන් නිවෙස්වලම ප්‍රතිකාර සඳහා යොමුකිරිමට සිදුව ඇති බව ද පවසන එම සංසදය පෙන්වාදෙන්නේ මරණ සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
“මෙරට රෝහල් පද්ධතියට දරාගත නොහැකි තරමට මේ වනවිට රෝගීන් වාර්තා වෙමින් පවතී. ඔක්සිජන් අවශ්‍යවන රෝගීන් සංඛයාව ද වේගයෙන් ඉහළ යමින් පවතී. කොරෝනා වසංගතය තුළ අප රට මෙතෙක් මුහුණ දුන් දරුණුම තත්වයට අද පත්ව ඇත. දිනකට වාර්තාවන රෝගීන් සංඛ්‍යාවට වඩා කිහිප ගුණයක් වැඩි රෝගීන් සංඛ්‍යාවක් සමාජය තුළ සිටිති. ප්‍රමාද වී ලැබුණු එන්නත්කරණ ක්‍රියාවලිය දැනට වේගවත්ව සිදුවුව ද මහජනතාවගේ හැසිරීම ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියට හේතුවී තිබෙන බව අප විසින් හඳුනාගෙන තිබේ. මෙම බැරෑරුම් අවස්ථාවේ දී කොරෝනා ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීම ලෙස අපි අවධාරණය කරන්නෙමු. මහජනතාවගේ අවදානම් සහගත හැසිරීම් පාලනය කර වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ අවස්ථාවේ දී සති කිහිපයකට රට අඟුළු දැමිය යුතු බව ද දැඩිව අවධාරණය කරමු. එමගින් රෝගීන් සංඛ්‍යාව අඩුකරගැනීමටත් මරණ සංඛයාව අවම කරගැනීමත් හැකිවනු ඇත. මේ අවස්ථාවේ ආර්ථිකයට සිදුවන සෘණාත්මක බලපෑම ගැන පමණක් අවධානය යොමු කරමින් රෝග ව්‍යාප්තිය අවම කිරීමට ඵලදායී පියවර ගැනීම ප්‍රමාද කිරීම මගින් රටේ සියුලම ක්ෂේත්‍රයන් තව තවත් ආගාදයට යනු ඇත. එවැනි තත්වයක දී රටේ ආර්ථියට වන හානිය ඉතා දරුණු වනු ඇත.”
