-5.9 C
New York

ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය 75%කින් වැඩිවෙලා

Published:

කොරෝනා ආසාදිතව ඔක්සිජන් ලබාදීමට සිදුව ඇති රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 10ක කාලයේ දී 75%කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කරන දත්ත අනුව තහවුරු වෙයි.

මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. දැනට රෝහල්වල ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති බැවින් ඔක්සිජන් අවශ්‍ය රෝගීන් තවදුරටත් ඉහළ ගියහොත් මරණ සංඛ්‍යාව ද වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

පසුගිය ජූලි මාසයේ 19 වැනි දා සිටි ජූලි 28 වැනි දා දක්වා දින 10 දී ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දිනකට සාමාන්‍ය අගය 291ක් ව තිබිණි.

ඉන් පසු ජූලි 29 සිට අගෝස්තු 07 දක්වා දින 10 දී එම සංඛ්‍යාව දිනකට සාමාන්‍ය අගය 509 දක්වා ඉහළ ගොස් තිබේ.

එය ඊට පෙර දින 10ට සාපේක්ෂව 75%ක වර්ධනයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන ද ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සැළකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව පිළිගනියි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ එසේ වුව ද ඔක්සිජන් හිඟයක් නොමැති බවයි.

“අපට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණව්ත තරම් තියෙනවා. හදිසි අවශ්‍යතාවක දී තවත් ඔක්සිජන් ධාරිතාව වැඩි කරන්න අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය සැළසුම් සකස් කර තිබෙනවා. ඒ නිසා ගැටලුවක් ඇතිවන්නේ නැහැ.” ඔහු කීවේය.

Related articles

Recent articles

spot_img