අධික කැස්ස හේතුවෙන් කරාපිටිය රෝහලට පැමිණි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු නොවේ යැයි පවසා ආපසු නිවසට යවා තිබිය දී එදිනම රාත්‍රී නිවසේ දී මියගොස් පසුව කරන ලද පීසීආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ යක්කලමුල්ල පැල්පොලහේන පදිංචි 45 හැවිරිදි දෙදරු පියෙකි.
කොළඹ ගොඩනැගිලි ඉඳිකිරීම් ස්ථානයක පෙදරේරුවකු ලෙස සේවය කරමින් සිටි ඔහු සතියකට පමණ පෙර කැස්ස සහ උණ ඇතැයි පැවසූ බවත් දින තුනකට පමණ පෙර නිවසට පැමිණි බවත් ඔහුගේ බිරිඳ නාගරික හදිසි මරණ පරීක්ෂකවරයාට පවසා තිබේ.
නිවසට පැමිණිය ද දිගින් දිගටම තද කැස්සක් තිබීම හේතුවෙන් ඊයේ (06) උදෑසන කරාපිටිය ශිික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයට ඔහු පැමිණ ඇත. එහි දී ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකර පවසා ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බවයි. එබැවින් බාහිර රෝගී අංශයෙන් ලබාදුන් ඖෂධ රැගෙන යළි නිවසට ගිය ඔහුට නිවසේ වෙනම සිටින ලෙස ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා උපදෙස් දී තිබිණි.
ඊයේ (06) රාත්‍රී දැඩි කැස්සකින් පීඩා විඳි තම සැමියා නිවසේ පුටුවක් මත සිටිය දී බෙල්ල ඇලවී පසෙකට වැටුණු බව බිරිඳ පවසයි.
වහාම ඔහු කරාපිටිය රෝහලට රැගෙන ආව ද ඒ වනවිටත් මියගොස් සිටියේ යැයි වෛද්‍යවරු තහවුරු කර තිබේ.
මළ සිරුරෙන් ජෛව සාම්පල ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහු මියයනවිට කොරෝනා ආසාදිතව සිටි බව තහවුරු වී තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකළ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න ඉදිරිපත් වූ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චිගේ නිර්දේශ අනුව මෙම මරණය කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් සිදුව ඇතැයි නිගමනය කළේය