-4.8 C
New York

මහජන උද්ඝෝෂණ “අයුතු ජනරාශියක්” නොවේ. අධිකරණය පොලිසියට කියයි

Published:

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට හිමිවන අයිතිවාසිකම් භාවිතා කරමින් රැස්වීම අයුතු ජන රාශියක් වන්නේ කෙසේදැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ඊයේ (06) කොළඹ කුරුඳුවත්ත පොලිසියෙන් විමසුවේය.

කොළඹ දී පැවැති උද්ඝෝෂණයකට සහභාගීවීම හේතුවෙන් අත්අඩංගුවට ගත් තිදෙනකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා මේ බව විමසා සිටියේය. ඔවුන් තිදෙනා සොයිසා වටරවුම ආසන්නයේ දී උද්ඝෝෂණයක නිරත වී සිටි බව පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.

පොලිසිය පවසන්නේ ඔවුන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණය කළ බවයි.

අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ඇතුළු සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබූ නෛතික ක්‍රියාදාමය පිළිබඳ තම අසතුට ප්‍රකාශ කළ මහේස්ත්‍රත්වරයා පොලිසියට කියා සිටියේ මංමාවත් පනත යටතේ හෝ මුඛ ආවරණ පැළඳ නොසිටීම යන කරුණ පදනම් කරගෙන නිරෝධායන රීතිය යටතේ පැහැදිලිව වෙන වෙනම චෝදනා ඉදිරිපත් කළ යුතු බවයි.

ඒ අනුව ඉදිරි නඩු දිනයක දී සැකකරුවන්ට එරෙහි චෝදනා වෙන වෙනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම්දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

සැකකරුවන් වෙනුවෙන් සුනිල් වටගල සහ ගුණරත්න වන්නිනායක යන නීතිඥවරු පෙනී සිටියහ.

Related articles

Recent articles

spot_img