-4.8 C
New York

කහ ගෑස්වලට නිල් ගෑස් නොලැබෙන්නේ ඇයි ? ලාෆ් පාරිභෝගිකයාට සිදුවන දේ මෙන්න

Published:

ලාෆ් ගෑස් සමාගම නිකුත් කරන ලද කහ පැහැති ගෘහස්ත ගෑස් සිලින්ඩර මේ වනවිට වෙ‍ෙළඳ ‍පොළේ නොමැතිවීමෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

ලිට්රෝ සමාගමේ වෙළෙද නියෝජිතයන් වෙත පැමිණ කහ පැහැති ගෑස් සිලින්ඩරයක් ලබා දී නිල් පැහැති ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් ලබාගත හැකියැයි ලිට්රෝ සමාගම පැවසුව ද එලෙස කහ පැහැති සිලින්ඩරය වෙනුවට අලෙවි නියෝජිත ආයතන වෙතින් නිල් පැහැති සිලින්ඩර නිකුත් කරන්නේ නැත.

මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

කහ පැහැති ගෑස් සිලින්ඩරයට නිල් පැහැති ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ කලකට ඉහත ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකි. එකල ක්‍රියාත්මක වූ මුන්ඩෝ ගෑස් සමාගම ඕනෑම ගෑස් සිලින්ඩරයක් ගෙන ගෑස් සිලින්ඩර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අනෙකුත් සමාගම් විසින් පවරන ලද නඩුවක දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ ගෑස් සිලින්ඩරය යනු ඒ ඒ සමාගම්වල දේපළක් බවයි.

මෙම තීන්දුව දැන් ලාෆ් ගෑස් පාරිභෝගිකයන් කහ පැහැති ගෑස් සිලින්ඩරය වෙනුවෙන් නිල් පැහැති ගෑස් සිලින්ඩරයක් ලබාගැනීමට නොහැකි වී තිබේ.

ගෑස් සමාගමක් පාරිභෝගිකයකුට ගෑස් සිලින්ඩරයක් ලබා දෙන්නේ මුල්‍ය තැන්පතුවක් ලබාගනිමිනි. එම ගෑස් සිලින්ඩරය සමාගම වෙත ලබාදුන් විට නැවත එම තැන්පත් මුදල ලබාදීමට ගෑස් සමාගම් නීතියෙන් බැඳී සිටිති. ඒ අනුව පාරිභෝගිකයන්ට ලාෆ් ගෑස් සිලින්ඩරය එම සමාගමේ නියෝජිත ආයතනයකට ගෙන ගොස් දුන්විට මෙම මුදල ලබාගැනීමට හැකියාව තිබිය යුතුය.

නමුත් ගැටලුව ඇත්තේ ගෑස් සිලින්ඩරය මිල දී ගැනීමේ දී ලබාදුන් ලදුපත ද සහිතව එම සිලින්ඩරය ඉදිරිපත් කිරීමට සිදුවීමයි. කහ පැහැති සිලින්ඩර ඇති බොහෝ දෙනකු සතුව තමන් එම සිලින්ඩරය වෙනුවෙන් මුදල් තැන්පත් කළ බවට වූ ලදු පත තිබේ ද යන්න ගැටලුවකි.

මේ අතර පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (05) කියා සිටියේ ලාෆ් ගෑස් පාරිභෝගිකයන් මුහුණ දී සිටින ගැටලුව රජය තේරුම්ගෙන ඇති බවයි. ඒ සඳහා විසඳුමක් ලබාදීමට දින කිහිපයක සිට අඛණ්ඩව අදාල පාර්ශව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද හෙතෙම කීවේය.

Related articles

Recent articles

spot_img