පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකටත් සභා ගැබේදී ම ලිංගික හිංසනයක් සිදුව ඇතැයි සමග ජන බලවේයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණී විජේරත්න ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.
ඇය එහි දී කියා සිටියේ උදය ගම්මම්පිළ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංංග විවාදයේ දී ඇතැම් මන්ත්‍රීවරු සහ ඇමතිවරු හැසිරුණු ආකාරයෙන් සහ කතා කළ කරුණු අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මෙලෙස හිංසනයට ලක්වූ බවයි.
රෝහිණී විජේරත්න මන්ත්‍රීවරිය මෙම කරුණු දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධනට ද චෝදනා කළාය.
“කතානායක තුමනි, ඔබතුමාට බිරිඳක් ඒ වගේම දියණියක් ඉන්නවා. ඔබතුමා හිනා වෙවී තලතා අතුකෝරළ වාචික ලිංගික හිංසනයක් කරන ඒ වෙලාවේ ඔබතුමා හිනා වෙවී ඔතන නිහඬව සිටීම පිළිබඳ මන්ත්‍රීවරියක් හැටියට මම මගේ කණගාටුව වගේම මගේ අප්‍රසාදයත් මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. මේ කරුණින් මන්ත්‍රීවරියගේ වරප්‍රසාද හානිවෙලා තියෙන බව මා මේ ගරු සභාවට ප්‍රකාශ කරනවා.”
පාර්ලිමේන්තු සභාව ඇත්තේ කාන්තාවන් ගැන විවේචනය කිරීමටවත්, මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරු හෝ ඔවුන්ගේ සම්බන්ධතා ගැන කතාකරන්නටවත් නොවන බව ත් ජනතාවගේ ගැටලු පිළිබඳ තීන්දු තීරණ ගැනීමට බවත් ඇය කියා සිටියාය.
රෝහිණී විජේරත්න විසින් කරන ලද චෝදනාවට පිළිතුරු ලබා නොදුන් කතානායකවරයා මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව කියා සිටියේය