දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරී තනතුරේ වැඩ බැලීම සඳහා දකුණු පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියකු නීති විරෝධී ලෙස පත්කර තිබීමෙන් මේ වනවිට බරපතල ගැටලු රාශියක් උද්ගත වී ඇතැයි දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමය චෝදනා කරයි.
දකුණු පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියකු ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කරන අයකු මෙලෙස අත්තනෝමතික ලෙස නීතියට පටහැනිව යමින් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරියා ලෙස වැඩබැලීමට පත්කර තිබිණි.
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ තනතුරක් දැරීමට පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියකුට නීතිමය හැකියාවක් නැත. එවැනි තනතුරක් දැරීමට නම් 1992 අංක 02 දරණ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රඥප්තියේ 15(3) වගන්තියේ ඇති කොන්දේසි සම්පූර්ණ කළ යුතුය. නමුත් එසේ නොකර ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයේ දින කිහිපයක් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ දින කිහිපයක් වශයෙන් සේවය කර තිබිණි.
අධිකාරියක සහ රාජ්‍ය සේවයේ මාරුවෙන් මාරුවට සේවය කිරීමට හැකියාවක් නැන.
මේ පිළිබඳ සළකා බැලූ දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ඉහත නිලධාරියාගේ පත්වීම් බලධාරියා වන දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ ඩබ්ලිව්.කේ.කේ.චාමර සම්පත් යන අය තමන්ට නියමිත සේවා ස්ථානයේ සේවය නොකර දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කිරීම නීතියට පටහැණි බවයි.
මේ බව දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ගාමිණී වීරවික්‍රම විසින් ලිඛිතව දැනුම් දී තිබේ.
ගැටලුව ඇත්තේ මෙලෙස නීති විරෝධීව ඉහළ තනතුරක වැඩ බැලූ නිලධාරියකු දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සිදුව ඇති වංචා, දූෂණ අක්‍රමිකතා සහ පරිපාලන අක්‍රමිකතා සම්බන්ධ නිර්දේශ ලබාගැනීමටත්, වාර්තා සැකසීමට සහ විවිද කමිටුවල කටයුතු කිරීමටත් යොදවා තිබීමයි. එනේම ඔහු යම් යම් අවස්ථාවල දී දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවේන අධිකරණයට ද ඉදිරිපත් වී කරුණු දක්වා තිබේ.
මෙය ඉතාමත් බරපතල සහ අවුල් සහගත තත්ත්වයකි.
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමය පවසන්නේ වැඩ බැලීම සඳහා නීති විරෝධී ලෙස පත්කර තිබූ එම නිලධාරියට නිවසේ සිට කාර්යාලයට පැමිණීම හා ආපසු යාම වෙනුවෙන් මාසිකව රුපියල් 50,000.00ක දීමනාවක් ද ගෙවා ඇති බවයි.
මෙය බරපතල ලෙස රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් බවත් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ පත්වීමට හා අයථා මුදල් පරිහරණය ඇතුළු ඔහු යොදාගනිමින් කරන ලද සියලුම කටයුතුවලට වගකිව යුතු බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි.



