ශ්‍රී ලංකාව ආසන්නයෙන් ඉතාමත් කලාතුරකින් වාර්තාවන දුර්ලභ මුහුදු පක්ෂියකු ධීවර බෝට්ටුවක නැගී දින 12ක ගමනකින් පසු ගාල්ල ධීවර වරායට අද (01) පැමිණ සිටියේය.
එම යාත්‍රාවේ ධීවරයන් පවසන්නේ මෙම පක්ෂියා තම බෝට්ටුවට පියඹා පැමිණියේ දින 12කට පෙර බවයි. පක්ෂියා එළවා දැමීමට උත්සාහ ගත්තද ඉවත්ව නොගිය බැවින් අල්ලාගන්නා මසුන් කෑමට දුන් බවත් වරායට පැමිණෙන තුරුම එම පක්ෂියා ඉවත්ව නොගිය ඔවුහු කියති.
Mask booby ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන මෙම පක්ෂියා Sula dactylatra ලස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වයි. සිංහල භාෂාවෙවන් “වෙස් සුලාවියා” නැතිනම් “වත නිල් සුලාවියා” ලෙස ද හැඳින්වේ.
සුළං හමන රටාව ආධාරයෙන් විශාල දුරක් පාවී යාමට හැකි ආකාරයෙන් සකස් වූ පියාපත් සහ සිරුරු හැඩයකින් යුතු මොවුන්ගේ පෙනුම අනුව හොටය මුහුණට පැළඳූ මුඛ ආවරණයක් මෙන් දිස්වන බැවින් ඔවුන්ට Mask booby ලෙස නම් තබා ඇත.
ප්‍රධාන ගොඩබිම්වලට බොහෝ ඈතින් පිහිටි කුඩා දූපත්වල ජනාවාස සාදාගෙන සමූහ වශයෙන් ජීවත්වීමට මෙම පක්ෂීන් පුරුදුව සිටියි. පැතළි බිම්වල කූඩු සාදා බිත්තර දමයි. මසුන් දඩයම් කිරීම සඳහා අධිවේගයෙන් මුහුදු ජලයට ඇතුළුවන මොවුහු දක්ෂ කිමිදුම්කරුවෝ ද වෙති.
කොළඹ විශ්විවද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය සම්පත් සෙනෙවිරත්න පවසන්නේ මෙම පක්ෂීන් නිරිතදිග මෝසම් සුළං ක්‍රියාත්මකවන මෙම කාලයේ දී ශ්‍රී ලංකාව වටා ඇති මහද්වීප තටකයේ සිදුවන රළ නැගීම් සමඟ මසුන් දඩයම පහසුවන බැවින් ඒ අවට මුහුදට පැමිණෙන බවයි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“මෙම පක්ෂි විශේෂය කලාතුරකින් ශ්‍රී ලංකාව අවටින් වාර්තා වී තිබෙනවා. මුහුදේ මසුන් අල්ලමින් ජීවත්වන මේ සතුන්ගේ ශරීරයේ මේද ප්‍රමාණය අඩුවන විට තමන්ගේ වෙහෙස නිවාගැනීම සඳහා යම් විවේකයක් ගන්නවා. මේ බෝට්ටුව තෝරාගන්න ඇත්තේ ඒ නිසා පක්ෂියා යම් අපහසුතාවකින් සිටිනවා විය හැකියි. ඒ නිසා දිගටම බෝට්ටුවේ සිටින්නට ඇති.”
මොවුන් ඉන්දියන් සාගරය, අත්ලන්තික් සාගරය හා පැසිපික් සාගරය සිය ගොදුරුබිම් කරගෙන හුදකලා දූපත්වළ වාසය කරයි.
ගාල්ල ධීවර වරායට බෝට්ටුවේ නැගී දින 12ක මුහුදු ගමනකින් පැමිණි මේ අපූරු පක්ෂියා හික්කඩුව ජාතික වනෝද්‍යානයේ නිලධාරීන්ගේ අවසරය ඇතිව හියාරේ ජෛව විවිධත්ව කේන්ද්‍රය වෙත යොමුකර තිබේ. දින කිහිපයකින් පක්ෂියා යළි මුදාහැරීමට කටයුතු කරන බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.

