ලාෆ්ස් ගෑස් හිඟයක් ඇතිවීමට හේතුව ගෑස් ආනයනයට අවශ්‍ය ණයවර ලිපි බැංකුවලින් නිකුත් කිරීමේ ප්‍රමාදයන් බව එම ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය පවසයි.
ගෑස් මෙට්‍රික් ටොන් 3000ක පමණ නැවක් ශ්‍රී ලංකාවට පැමිණි විට එම නැවෙන් ගෑස් ලබාගැනීමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීම බැංකු විසින් සිදුකරන්නේ සති දෙකක පමණ කාලය් ගනිමින් වරින් වර කොටස් වශයෙනි.
මීට ඉහත එක් දිනක් ඇතුළත නිකුත් කළ ණයවර ලිපි සඳහා මෙතරම් කාලයක් ගතකිරීමට බැංකුවලට සිදුව ඇත්තේ මෙරට ආනයනය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඩොලර් බැංකු සතුව නොමැතිවීම හේතුවෙනි.
නැවකින් ගෑස් ගොඩබෑමට මෙතරම් විශාල කාලයක් ගතවීම හේතුවෙන් නැව් සඳහා ප්‍රමාද ගාස්තු පවා ගෙවීමට සිදුවෙයි.
වෑගපිටිය පවසන්නේ ගෑස් මිල සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්වය ගැන රජය සමඟ සාකච්ඡා කිහිපයක් ම පැවැත්වුව ද ඒවා ප්‍රතිඵල රහිත වූ බවයි.
ඔහු පවසන්නේ මේ ඛේදජනක තත්ත්වය ලාෆ්ස් ගෑස් සමාගමට පමණක් නොව බොහෝ ආනයනයකරුවන්ට බලපා තිබෙන බවයි. මේ හේතුවෙන් කිරිපිටි සහ ඖෂධ හිඟයක් ද ඉදිරි කාලයේ දී ඇතිවිය හැකියැයි ඔහු පවසයි.
ඔහු පවසන්නේ ගෑස් සිලින්ඩරයකින් සමාගමට රුපියල් 700.00ක පාඩුවක් විඳීමට සිදුවන බවයි. එසේ වුව ද අවුරුද්දක පමණ කාලයක් පුරා සමාගමට රුපියල් කෝටි 500ක පාඩුවක් සිදුකරගනිමින් ගෑස් බෙදාහැරීම සිදුකළ බව ද ඔහු කීවේය.
පාරිභෝගිකයන්ට සිදුව ඇති අපහසුතාව පිළිබඳව ද ඔහු සිය කණගාටුව ප්‍රකාශ කළේය. දිගින් දිගටම පාඩු ලබමින් සහ ගෑස් ආනයනයට අවශ්‍ය මූල්‍ය පහසුකම් නොමැතිව ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකි බවත් ඔහු පවසයි.
මේ වනවිට ගෑස් ලබාදීම සිදුකරන්නේ කර්මාන්ත ශාලා සහ ආපනශාලා සඳහා භාවිතා කරන විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර සඳහා පමණි.
මේ වනවිට ලාෆ්ස් සමාගම සිය සේවකයන්ගේ දීමනා පවා කප්පාදු කර ඇති අතර බොහෝ සේවක සේවිකාවෝ ඉන් ඉවත්ව වෙනත් රැකියා සොයා යති. සමාගමේ සේවයට යොදවා සිටි මෑන් පවර් සේවකයන් සියලු දෙනා ඉවත්කර ඇති අතර සමාගමේ විධායක නිලධාරී පවා කම්කරු සේවාවන් සිදුකරමන් ලාෆ්ස් සමාගමේ අඛණ්ඩතාව දිගටම පවත්වාගෙන යාමට උත්සාහ ගනිති.