බද්දේගම ප්‍රදේශයේ කොරෝනා පැතිරයාමේ දැඩි අවධානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
පසුගිය දින 07ක කාලයේ දී බද්දේගම රෝහලේ දී කොරෝනා ආසාදිතයන් හදුනාගැනීම සඳහා කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් 50%ක් ම ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබීමෙන් මෙහි බරපතල තත්ත්වය පැහැදිලි වෙයි.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ පමණක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 31ක් සිදුකළ විට ඉන් 17 දෙනකු පොසිටිව් බව හඳුනාගෙන ඇත.
බද්දේගම ඇඟළුම් කර්මාන්තශාලාවක මාසයකට පමණ පෙර විශාල වශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා විය. මේ හේතුවෙන් එම කර්මාන්තශාලාව වසා දමා සේවකයන්ට එන්නත් කරන ලෙස ඉල්ලා බද්දේගම නගරයේ උද්ඝෝෂණයක් පවා පැවැත්විණි.
දැන් එහි ප්‍රතිඵල බද්දේගම ප්‍රදේශයට ම අත්විඳින්නට සිදුව ඇති බව ප්‍රදේශවාසීහු කියති.
සෞඛ්‍ය අංශ පවසන්නේ බද්දේගම හා ඒ අවට සෑම ප්‍රදේශයකින් ම කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තාවන බවයි.
බද්දේගම අධිකරණයේ කරන ලද පරීක්ෂණයකින් එහි නිලධාරියකු ද කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් හෙට දිනයේ බද්දේගම අධිකරණයේ සේවක සේවිකාවන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට ද සැළසුම් කර තිබේ.
බද්දේගම ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ දෙදෙනකු හඳුනාගැණුනු අතර එම දෙදෙනාම ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන්ගේ පවුලේ සාමාජිකයන් වීම ද විශේෂත්වයකි.
මෙවැනි කරුණු හේතුවෙන්, බද්දේගම හා ඒ අවට පැතිරයන්නේ ඩෙල්ටා ප්‍රභේදය ද යන්න පිළිබඳ සෞඛ්‍ය අංශ සැක පහළ කරයි.
බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය ඉතා විශාල කොටසකි. එය ගාල්ලට පමණක් දෙවැනි වේ. එසේ වුවද ලැබී ඇති එන්නත් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත…