කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 20.2කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශකය දැක්වුණේ ඒකක 8,128ක් ලෙස වාර්තා විය.
සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 2.5කි. අද වැඩි වශයෙන් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 791ක් ද, ලංකා වෝල්ටයිල්ස් සමාගම රුපියල් මිලියන 118ක් ද, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලින 104ක් ද කැපී පෙණිනි.
දැනට කොළඹ කොටස් වෙළෙඳ පොළ සමාගම් අතර වටිනාම සමාගම ලෙස LOLC සමාගම රුපියල් බිලියන 221ක වටිනාකමක් හිමිකරගෙන ප්‍රථම ස්ථානයටත්, ජෝන් කීල්ස් සමාගම රුපියල් බිලියන 181ක වටිනාකමක් හිමිකරගෙන දෙවන ස්ථානයත්, ලංකා දුම්කොළ සමාගම රුපියල් බිලියන 179ක් හිමිකරගෙන තෙවැනි ස්ථානත්, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 130ක් හිමිකරගනිමින් හතරවැනි ස්ථානයට ද පත්ව සිටියි.
එක්ස්පෝ ලංකා සමාගම ඉතා කෙටි කාලසීමාවක් තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි කැපී පෙනෙන ලෙස තම කොටස් මිල ඉහළට අගයක රඳවා ගැනීමට සමත්ව තිබේ.
අද දිනයේ විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 69ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 174ක කොටස් විකුණා තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 105ක ආයෝජන කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.
විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 10.6යි, හේලීස් සමාගම රුපියල් මිලියන 8.1යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලයන 6.8ක් ලෙස මූලික විය.
කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 44.6ක්, කන්වීනියන්ස් ෆුඩ් සමාගම රුපියල් මිලියන 26ක්, ටෙක්චර්ස් ජර්සි සමාගම 23.8ක් ලෙස ප්‍රධාන විය.
පාරභෝගික සේවා අධිකාරිය ශ්‍රී ලංකාවේ සියලුම ගෘහස්ථ විදුලි රැහැන් නිෂ්පාදන සමාගම් අතර පැවැති සාකච්ඡාවක් අනුව 2021 අගෝස්තු 01 වැනි දින සිට කැලණි කේබල් සමාගම, ඒසීඑල් කේබල් සමාගම, සියරා කේබල් සමාගම, එස්ආර් කේබල් සමාගම සහ ඔරෙන්ජ් ඉලෙක්ට්‍රිකල් සමාගම යන සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන ගෘහස්ත විදුලි රැහැන්වල මිල 11% පහළ දැමීමට සියලු සමාගම් එකඟ වී තිබේ.
මෙම සමාගම් සියල්ල කොටස් වෙළඳ පොළ නියෝජනය කරන බැවින් එම මිල අඩුවීම එම සමාගම්වල ලාභාංශ කෙරෙහි සෘජු බලපෑමක් ඇතිකරනු ඇතැයි අපේක්ෂිතය.
(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)