අතුරුදන් වූ බව කියන රත්නපුරයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවා ඔහුගේ ම සැළැස්මක් අනුව ගමන්කරමින් සිටින බවත් ඔහු සොයා මෙහෙයුම් දියත්කර ඇති බවත් පොලිසිය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ රත්නපුර බටුහේන පදිංචි නුවන් ලක්ෂාන් අබේරත්න නමැති සිසුවෙකි. රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔහුගේ පියා පොලිස් සැරයන් වරයෙකි.
පසුගිය 25 වැනි දා අළුයම ඔහු සිය නිවසින් අතුරුදන්ව තිබූ අතර ඔහු නිවසින් පිටවී මාර්ගයේ ගමන්කරන ආකාරය ප්‍රදේශයේ CCTV කැමරාවල සටහන්ව තිබේ. පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඔහු නිවසින් පිටතට යනවිට රුපියල් 20,000.00ක මුදලක්, සොහොයුරාගේ ජංගම දුරකථනය සහ ඇඳුම් බෑගයක් රැගෙන ගොස් ඇති බවයි.
මෙම දරුවා පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ මාර්ග සිතියමක් මිල දී ගැනීමට ද අවශ්‍ය බව නිවසට දන්වා ඇතැයි ද අනාවරණය වී තිබේ.
25 වැනි දා අළුයම නිවසින් අතුරුදන් වූ ඔහු රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ දහවල් 01ට පමණ ශ්‍රී පාදස්ථානයේ උඩ මලුවට පැමිණ තිබේ. එහි මුරකරු මොහුගේ අසාමාන්‍ය හැසිරීම පිළිබඳ සැකසිතා ඔහුගෙන් ප්‍රශ්න කළවිට පවසා ඇත්තේ තන් නිවසට නොදන්වා ශ්‍රී පාදස්ථානය තරණය කිරීම සඳහා පැමිණි බවයි.
ශ්‍රී පාදස්ථානය වසා ඇති බැවින් වන්දනා කිරීමට ඉඩදිය නොහැකියැයි පවසා ඔහුගෙන් විස්තර විමසූ විට පවසා ඇත්තේ තමන් මහරගම සිටින මිතුරකු බැලීම යාමේ බලාපොරොත්තුවෙන් සිටින බවයි.
ඉන් පසු හැටන් නල්ලතන්නි මාර්ගය ඔස්සේ ඔහු ශ්‍රී පාදස්ථානයෙන් පහළට බැස ඇති අතර සවස 5.00ට පමණ නල්ලතන්නියට පැමිණි බව ද අනාවරණය වී ඇත. ඔහු විසින් රැගෙන ගොස් ඇති සොහොයුරාගේ ජංගම දුරකථනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දුරකථන සමාගම මගින් සොයා බැලුව ද එහි සිම් කාර්ඩ්පත ඔහු ඉවත්කර තිබේ. දුරකථනයේ කේත අංකය ද සොයාගත නොහැකි වී ඇතැයි ද පොලිසිය පවසයි. එබැවින් ඔහුගේ ගමන් මාර්ගය පිළිබඳ දුරකථන දත්ත ඔස්සේ හඳුනාගැනීම ද අපහසු වී ඇත.