සරුංගල් ගැන කුඩා දරුවන්ට ඇත්තේ අපූරු ආසාවකි. ඔවුන් පමණක් නොව තරුණයෝ ද වැඩිහිටියෝ ද සරුංගල් යවති. ඒ සරුංගල් යැවීම ලොව බොහෝ රටවල්වල ඉතාමත් ජනප්‍රිය අපූරු කලාවක් බැවිනි
නමුත් එය දැන් එය මාරයාට අතවැනීමක් බවට පත්ව තිබේ.
මාස දෙකක පමණ කාලයක් ඇතුළත සරුංගල් හේතුවෙන් ගාල්ලේ පමණක් ජීවිත 05ක් අහිමිවිය.
මරණ පහට අමතරව තවත් බොහෝ අනතුරු තැන තැන වාර්තා වී තිබේ.
සති දෙකකට පමණ පෙර ගාල්ල අධිවේගී මාර්ග පිවිසුමේ ගිය යතුරුපැදියක ගමන්ගත් තරුණයකුගේ බෙල්ල සරුංගල් නූලකට කැපී ගොස් තිබිණි. දරුණු තුවාලයක් සිදුවුව ද ඔහු ජීවත්වීමට වාසනාව ලද්දේය.
සරුංගල් නිසා පසුගිය මැයි මාසයේ 14 වැනි දා ගාල්ල මකුළුවේ පදිංචි පිය පුතු දෙපළක් සහ අසල්වැසියකු ගොඩනැගිල්ලකින් වැටී මියගියහ.
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බූස්ස පිටිවැල්ල ප්‍රදේශයේ මාර්ගය හරහා වැටී තිබුණු සරුංලයක නූලක යතුරුපැදියක් පැටලීමෙන් එහි ගමන්ගත් මවක් හා කුඩා දරුවකුගේ දිවි අහිමිවුණේ පසුගිය ජූලි 17 වැනි දා රාත්‍රියේ දී ය.
මෙලෙස මියගියේ ගිංතොට පියදිගම පදිංචි සුදුසිංහ ලියනගේ මේනකා ප්‍රසාදිනී (34) නමැති දෙදරු මවක් සහ වයස මාස 18ක් වූ හීන්දෙණියගේ අනුක රන්දුල් නමැති ඇගේ බාල පුතණුවන්ය.
“මගේ යතුරුපැදියේ ගියේ. රෑ බෝවෙලා තිබුණා. එකපාරටම මම පාර මැද ඉස්සරහින් ඇස් මට්ටමෙන් වයර් එකක් වගේ දෙයක් දැක්කා. පුතා හිටියේ ඉස්සරහා ඒක දරුවගේ බෙල්ලේ පැටලෙයි කියලා මම ඒක වම් අතින් අල්ලගත්තා. මගේ වම් අත ඒකට කැපුණා. දරුවත් දැඟළුවා. බයිසිකලේ එකපාරටම පෙරළුණා.” ගුවන් හමුදාවේ සැපයුම් බලකායේ සේවය කරන හීන්දෙණියගේ සුරංග (35) පවසයි.
මියගිය මේනකාත්, සුරංගත් ඉගෙන ගත්තේ ගිංතොට මහා විද්‍යාලයේය. පාසල් වියේ ඇතිවූ ප්‍රේමය මල් ඵල ගන්වමින් ඔවුහු එකම කැදැල්ලකට පිවිසි අතර පුතුන් දෙදෙනකුගේ දෙමහල්ලෝ වූහ. සැමියා නාවික හමුදාවේ සේවය කරද්දී බිරිඳ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් රැකියාවක් නොකර නිවසේ ම නතර වූවාය.
මාස තුනකට පමණ පෙර මේනකාගේ පියා මියගියේය. දිනපතාම කොග්ගල ගුවන් හමුදා කඳවුරේ රැකියාවට ගොස් යළි නිවසට පැමිණෙන සිය සැමියා නිවසට පැමිණි විට ගෝනාපීනුවල සිටින තම මව බැලීයට යාම මේනකාගේ එදින අපේක්ෂාව වූවාය. දරුවන් ද සූදානම් කරගෙන ඔහු පැමිණෙන තුරු ඇය බලා සිටියේ එබැවිනි.
සේවය නිමවා පැමිණි වහාම සුරංග තම බිරිඳත් දරු දෙදෙනාත් සමඟ, ගෝනාපීනුවල බිරිඳගේ නිවසට යාමට පිටත්වූයේය.
යතුරුපැදියේ ඉදිරියෙන් ගමන්කිරීමට හැමදාමත් කැමැත්තක් දක්වන ලොකු පුතා සුපුරුදු පරිදි ඉදිරියෙනි. පිටුපස අසනට බරවූ මේනකා බාල පුතු තම තුරලට ගත්තාය. වේලාව රාත්‍රී 7.30 පමණ වී තිබිණි. ඔවුහු පිටත් වූහ.
කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි සුරංග යන්නේ ඉදිරිය ගැන විමසිල්ලෙනි. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන්කරන විවිධ වාහනවල එළියෙන් සහ ඔහුගේම යතුරුපැදියේ ආලෝකයෙන් පෙනෙන දුර ගැන ඔහු වඩාත් විමසිලිමත් වෙයි.
මේ අතර ඔහු හදිසියේ ම දුටුවේ පාර හරහා යම් කම්බියක් වැනි දෙයක් ඇති බවයි. මෙය කුමක් වුවත් යතුරුපැදියේ ඉදිරියෙන් සිටින තම පුතුගේ සිරුරේ එය පැටලීමට ඉඩ ඇති බව ක්ෂණිකව තේරුම්ගත් සුරංග සිය වමතින් එය අල්ලා පුතුගේත් තම හිසටත් ඉහළින් එසවූයේය.
“මම ඒ වෙලාවේ බයිසිකලේ ගියේ පැයට කිලෝ මීටර 30-40ක් අතර වේගයෙන්. ඒක නිසා මට ඒක අල්ලගන්න පුළුවන් වුණා. මම එය ඔසවනවාත් සමගම මගේ වම් අත ඒක කැපුණා. ඒ එක්කම ඉස්සරහ හිටපු ලොකු පුතා කලබල වෙලා දැඟළුවා. මට බයිසිකලේ පාලනය කරගන්න බැරුවුණා. එහෙමම වැටුණා.”

මහා ශබ්දයක් නගමින් මේ යතුරුපැදිය අනතුරට ලක්වෙද්දී එය දුටු අසළ නිවසක කාන්තාවක් මෙසේ කීවාය.
“බයිසිකලේ වැටිලා. ඒ පිරිමි එක්කෙනා නැගිටලා ආවා. පොඩි පිරිමි ළමයකුත් ආවා. අපි කෑ ගහගෙන එතනට දිව්වා. ගමේ අයටත් කෑ ගහලා කිව්වා. වැටිල හිටපු ගැහැනු කෙනාගේ ඔළුවෙන් ලේ ගොඩක් ගලා යමින් තිබුණේ. කිසිම හැළ හොල්මනක් තිබුණේ නැහැ. ඒ අයියා පොඩි පුතාව උස්සලා ගත්තා. එයාගේ නෝනවත් උස්සලා ගන්න හැදුවා. ඒ බයිසකලේ ආපු පිරිමි කෙනාගේ අත කැපිලා ලේ එනවා. අපි පාරේ යන වාහනයක් නවත්තලා ඉක්මනට තාත්තයි පුතාල දෙන්නයි දාලා කරාපිටිය ඉස්පරිතාලෙට යැව්වා. ඒ ගැහැනු කෙනා එතනම මියගිහින් තිබුණා.”

අනතුරට පත්වූ සුරංග පවසන්නේ තමන්ට ඉදිරියෙන් යතුරුපැදියේ වාඩි වි ගිය ලොකු පුතාට කිසිදු අනතුරක් සිදු නොවූ බවයි. බිම වැටී සිටි පුතාව ඔසවා ගත් බවත් රැස්වූ පිරිස කෑ ගසා වාහනයක් නතර කර ඔහුත් පුතුන් දෙදෙනාත් ඊට නැංවූ බවත් ඔහු කියයි.
“එයාලා කෑ ගහලා කිව්වා. ඉක්මනට දරුවො දෙන්නා අරගෙන යන්න කයිලා. නෝනව ඊළඟ වාහනේ ඉක්මනට එවන්නම් කියලා. අපේ නෑයෝ කිහිප දෙනෙකුත් කරාපිටිය රෝහලට ආවා. ඒ අය මට කිව්වා මේනකා අනතුර සිදුවූ ස්ථානයේ ම මියගිහින් කියලා. ගොඩක් වෙලා මම ඉස්පිරිතාලේ හිටියා. ඒත් බිරිඳ ගෙනාවේ නැහැ.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලිසිය සරුංගලය සිය භාරයට ගත්තේය. කහ සහ කළු පැහැති ඉටිරෙදිවලින් සකසා තිබූ විශාල සරුංගලය යැවීමට භාවිතා කර තිබුණෙ සිහින් නයිලෝන් කඹයකි. එය නූලක් නොවේ. ඝනැති නයිලෝන් නූල් කිහිපයක එකතුවකි.
අවසනයේ දී වටිනා ජීවිත දෙකක් අහිමිවීමට මේ සරුංගල් යැවීම හේතුවිය. මෙම ලිපිය ලියන මොහොතවන තරු සරුංගලයේ හිමිකරුවා සොයාගෙන නැත. නමුත් එහි හිමිකරුවා එම ප්‍රදේශයේ ම පදිංචිකරුවකු විය යුතුය. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට ඉහළින් සරුංගලයක් යවා එය කැඩී ගිය විට නූල ඉවත් නෙකළ එහි හිමිකරුව් මේ ජීවිත දෙකක් අහිමි වූ සිද්ධියට දායක වී තිබේ.
මියගිය මේනකා ප්රසාදිනීගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය රත්ගම හදිසි මරණ පරික්ෂක බී.එම්.ඒ.සාගරිකා නිල්මිණි මහත්මිය විසින් සිදුකළ අතර ඇගේ පුතුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් සිදුකරන ලදී.
