ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 09කට පසු සිය මව්බිමේ දී ඉන්දීය කණ්ඩායමක් පරාජය කරමින් ඊයේ (23) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති තුන්වැනි එක්දින තරඟයෙන් කඩුළු 03ක ජයක් හිමිකරගත්තේය.
අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දු යැවීමත් අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිහරඹයත් මේ ජයග්‍රහණයට මූලික විය.
ශ්‍රී ලංකාව අවසන් වතාවට ඉන්දියාවට එරෙහිව මව්බිමේදී එක්දින තරගයක් ජය ගෙන ඇත්තේ හරියටම මීට වසර 9 කට පෙර එනම් 2012 වසරේ ජූලි 24 වැනිදා හම්බන්තොටදී පැවැති තරගය වේ. මහේල ජයවර්ධනගේ එම තරඟයේ දී ශ්‍රී ලංකා පිල මෙහෙයවූයේය.
ඉන්දීය කණ්ඩායම ලබා දුන් ලකුණු 227 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දු 48 ක් ඉතිරිව තිබියදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 7 ක් දැවී ගොස් තිබිය දී ය.
අවිශ්ක ප්‍රනාන්දු පන්දු 98 කදී ලකුණු 76 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ අඩිතාලම වූයේය. එම ඉනිම හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද අවිශ්ක ප්‍රනාන්දු පිදුම් ලැබීය. ඔහුට අනගි සහායක් ලබා දුන් භානුක රාජපක්ෂ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවයක් ගොඩ නැංවීමට දායකත්වය ලබා ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමිනි. භානුක දැවී යනවිට පන්දු 56 කදී ලකුණු 65 ක් ලබා සිටියේය.
එම සම්බන්ධතාවය ප්‍රධාන කොට ශ්‍රී ලංකා කණ්ඩායම විටෙක කඩුලු 3 කට ලකුණු 194 ක් වශයෙන් ප්‍රබල තත්ත්වයක පසු වුවත් හර්දික් පාණ්ඩ්‍යා විසින් චරිත් අසලංකව ලකුණු 24 කට දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා පිල තරමක් පසුබැස්මක් පෙන්නුම් කළේය. එය තම වාසියට හරවා ගත් මංගල තරගයට ක්‍රීඩා කළ රාහුල් චහර්, මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දසුන් ශානකව ද, ඉනිමේ විශ්වාසනීයම පිතිකරුවා බවට පත් වුණු අවිෂ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නගේ කඩුලු ද දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට යළි පීඩනය හැරවීමට සමත්වූයේය.
එහෙත් රමේෂ් මෙන්ඩිස්ට එක්වුණු පසු පෙළ පිතිකරු අකිල ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ කළහ. මෙම හඹා යෑමේදී ඉන්දීය කණ්ඩායමේ පන්දු රකිනන් අතින් දිස් වුණු දුර්වල පන්දු රැකීමත් උඩ පන්දු 3 ක් අත හැර දැමීමත් ශ්‍රී ලංකාවේ වාසියට හිටියේය. ශ්‍රී ලංකාව ලකුණු 10 ක් ලබා දී තිබිය දී ඉන්දීය පිල අතිරේක ලකුණු 30 ක් ලබා දී තිබීම ද ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කළේය.
ඉන්දීය කණ්ඩායම පළමු පන්දුවාර 4 ඇතුළත ලකුණු 35 ක් රැස් කරමින් වේගවත් ආරම්භයක් ලබා ගත් අතර ප්‍රිතිව් ෂෝ සහ සංජු සැම්සන් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක් වාර්තාවූයේ පහසුවෙන් ම ලකුණු 300 සීමාව ඉක්මවා යනු ඇතැයි ඉඟි පළකරමිනි. 23 වැනි පන්දුවාරය අවසන් වන විට තරගය වර්ෂාව හේතුවෙන් අවසන් කරන විටත් ඉන්දීය ඉනිම කඩුලු 3 කට ලකුණු 147 ක් ලෙසින් සටහන්ව තිබිණ.
මිනිත්තු 100 කට ආසන්න ප්‍රමාදවීමකින් පසු පන්දුවාර 47 කට සීමා කරමින් ඇරැඹි මෙම ඉනිමේ දී ප්‍රවීන් ජයවික්‍රම සහ අකිල ධනංජයගේ පන්දු යැවීම කැපී පෙනිණ. ඉන්දීය ඉනිම ලකුණු 225 කදී නිමාවට පත් වන විට වමත් සහ දකුණත් දඟ පන්දු යවන්නන් දෙදෙනා කඩුලු 3 බැගින් බෙදාගෙන සිටියහ.
තරගාවලියේ වීරයා සම්මානයන ඉන්දීය කණ්ඩායමේ සූර්යකුමාර් යාදව් විසින් දිනා ගනු ලැබීය.
දෙරට අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ පළමු තරගය හෙට (25) රාත්‍රී 8.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.