අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පැමිණ කළුතර වලල්ලාවිට දොඩම්පාපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට පරිත්‍යාග කරන ලද ලැප්ටොප් පරිගණක යන්ත්‍ර කිහිපයක් ඡායාරූප ගැනීමෙන් පසු ඒ මොහොතේම යළි රැගෙන ගිය බව දෙමාපියෝ චෝදනා කරති.
අධ්‍යාපන ඇමතිවරයා විදුහලට පැමිණ උත්සවයක් ද පවත්වා පරිගණක 10ක් සිසු දරුවන් වෙත පරිත්‍යාග කර තිබේ. ඇමතිවරයා පරිගණක ලබාදෙන අයුරු ඡායාරූප ගැනීමෙන් අනතුරුව ඉන් 05ක් එම මොහොතේ ම රැගෙන ගොස් තිබේ.
ඇමතිවරයා සමඟ පැමිණි කණ්ඩායම පාසලේ ඉතිරිකර ගිය ලැප්ටොප් යන්ත්‍ර 05 ඉන් පසු ගුරු මහත්ම මහත්මීන් විසින් රැගෙන ගොස් ඇත. ඇමතිවරයාගේ ලැප්ටොප් පරිත්‍යාගය සඳහා ඡායාරූපවලට පෙනී සිටි සිසු දරු දැරියන් කිසිවෙකුට මෙම ලැප්ටොප් යන්ත්‍ර ලැබී නැත.
මෙ උත්සවය සඳහා අධ්‍යාපන අමාත්‍යය ජී.එල්.පීරිස් රාජ්‍ය අමාත්‍යය පියල් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ඇතුලු මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලාල් දිසානායක ද සහභාගී වී සිටියහ.
මෙම කරුණ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාල් දිසානායකගෙන් විමසූ විට හෙතෙම මෙසේ කීවේය.
“ මතුගම කලාපයට අයත් ඉතාම දුෂ්කර පාසල් කිහිපයක් තෝරාගෙන තමයි අමාත්‍යාංශය මේ ඉගෙනුම් පහසුකම් නගා සිටුවීමේ වැඩසටහන සංවිධානය කළේ. මේ පරිත්‍යාගය පොදුවේ පාසලේ සෑම සිසුවෙකුටම පරිශිලනය කළ හැකි අයුරින් තමයි ලබා දුන්නේ. ඒ අනුව මේ දොඩම්පාපිටිය විදුහලේ ළමයි 51 දෙනා අතරින් හතරවැනි ශ්‍රේණි දරුවන් කිහිප දෙනකු තෝරා ගත්තා මේ පරිත්‍යාගයේ සංකේත වශයෙන් ලබාදෙන්න. ඒ වගේම ඒ මොහොතේ එතැන සිටි සෑම දරුවෙකුටම සංකේතයක් ලෙස ලැප්ටොප් ලබා දුන්නත් මේ පාසලට වෙන් කරලා තිබුණේ ලැප්ටොප් 05 සහ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් පමණයි. අද ඒ ලැප්ටොප් සහ ප්‍රක්ෂේපන යන්ත්‍රය දරුවන්ගේ ඔන්ලයින් ඉගෙනුම් කටයුතු වලට ඉන්වෙන්ට්‍රියට ඇතුළත් කරලා ගුරුවරුන්ට භාර දීලා තියෙනවා. මේක වැරදී ආකාරයෙන් වටහා ගෙන ගම පුරා දෙමව්පියන් අතර වැරදි මතයක් ඇති වෙලා තියෙනවා.
මෙම ලැප්ටොප් පරිගණක යන්ත්‍ර පරිත්‍යාගකරන ලද්දේ දුරකථන සමාගමක් විසිනි.


