“මත්තලට ඉන්දියාවෙන් ගුවන් යානයක් ආවා” – සමාජ ජාල
”ගුවන් යානා තුනක්ම ආවා. ආපු අය නිරෝධායනය කළා” – බ්‍රැන්ඩික්ස් පාලන අධිකාරිය
”ඉන්දියාවෙන් ගෙන්නපු කවුරුවත් නිරෝධායනය කළේ නෑ” – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
” අපේ අයට කලින් ඉදලාම අසනීප තිබුණා. නිවාඩු දුන්නෙත් නෑ” – ආසාදිත කාන්තාවක්
”අසනීප තිබුණානම් අපි නිවාඩු දුන්නා. කවුරුවත් රෝග ලක්ෂණ පෙන්නුවේ නෑ” -බ්‍රැන්ඩික්ස් ආයතනය
(බ්‍රැන්ඩික්ස් පොකුර යන නම භාවිතයට මෙම ලේඛකයා එකඟ නොවන අතර අපගේ rata.lk වෙබ් අඩවිය ද එම නම භාවිතයට එකඟ වන්නේ නැත. එසේ වුව ද සමාජය හඳුන්වන නම මේ මොහොතේ භාවිතා කරන්නේ අදාල ආයතනය පාර්ශවයෙන් ද අදහස් දැක්වීම මෙහි අන්තර්ගත වන බැවිනි. මින් පෙර ද මින් මතුවට ද අප ඒ නම භාවිතා නොකරන්නෙමු.)
කොරෝනා වසංගතය මුළු ලෝකයම වෙලා ගනිද්දී ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මිය යද්දී අපට ඒ ගැන වගේ වගක් තිබුණේ නැත. සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබිණි.
කොරෝනා හේතුවෙන් ආර්ථිකයට සිදුවූ බලපෑම බොහෝ දෙනෙකුට දැනුන ද කොරෝනා වයිරසය ගැන බියක් තිබුණේ නැත.
නමුත් ඔක‍්තෝබර් 04 වැනි ඉරිදා උදෑසන සියල්ල කණ පිට පෙරැළිනි. මේ සටහන ලියන මා එදින උදෑසන නිවසින් කොළඹ බලා යාමට පිටත්වූ බසයේත් අධිවේගී මාර්ග බසයෙත් මුඛ ආවරණයක්බ පැළඳ සිටියේ මා පමණි.
නමුත් මා ආපසු සවස නිවස ට එද්දී දකින දකින සැවොම තම කට වැසෙන්නට යළි ආවරණ පැළඳ සිටියහ. ජන සමාජය මොහොතකින් යළි ආරක්ෂිත පියවර අනුගමනය කරන්නට පටන්ගෙන තිබිණි. දැන් සෑම දෙනකුගේම ගැටලුව වී ඇත්තේ දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වූයේ කෙසේ ද යන්නයි.
එය කොයි කවුරුත් දන්නේ පරිදි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවෙන් ආරම්භ වූ බවයි. එහි සත්‍යතාවක් ඇත්දැයි අප දන්නේ නැත. කිසිවෙකුත් ඒ ගැන නිශ්චිත පරීක්සණයක් කර නැතත් වර්තමානයේ කොරෝනා දෙවැනි රැල්ල යනුවෙන් හඳුන්වන වත්මන් රෝගීන් හමුවීම හඳුන්වන්නේ බ්‍රැන්ඩික්ස් පොකුර යනුවෙනි.
නමුත් අප සමාජය තුළ කොරෝනා වයිරසය තිබෙන බවත් එය කොතැනින් හෝ යළි මතුවිය හැකි බවත් වෛද්‍යවරු, වෛද්‍ය සංගම් පමණක් නොව වසංගත රෝග විද්‍යාව පිළිබඳ විශේෂඥයෝ ද සති ගණනක සිට අනතුරු ඇඟවූහ. එසේ වුව ද අපට ඒ ගැන තැකීමක් තිබුණේ නැත.
දැන් සියලු දෝෂාරෝපණ එල්ලවන්නේ බ්‍රැන්ඩික්ස් සමාගමටය. මේ ලිපියේ අරමුණ වන්නේ බ්‍රැන්ඩික්ස් පොකුර ලෙස වර්තමානයේ හඳුන්වන කොරෝනා ආසාදිත සමූහයේ යථාර්ථය හැකිතාක් හෙළිදරව් කිරීමයි.
යූඑල් 1159 දරණ ගුවන් යානයකින් ඉන්දියාවේ විශාකාපට්නම් සිට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉන්දියාවේ සිට පුද්ගලයන් 60 දෙනකු ගෙන්වා ඇති බවට රාවයක් පැතිර ගියේය.
එලෙස පැමිණි පුද්ගලයන් නිසි පරිදි නිරෝධායනයට ලක් නොවී මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ විවිධ කටයුතු සදහා පැමිණි බව ද එම තොරතුරුවල සඳහන්ව තිබිණි. බොහෝ දෙනකුගේ අදහස වූයේ මෙලෙස ඉන්දියාවෙන් පැමිණි පුද්ගලයන් හේතුවෙන් බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවට කොරෝනා වසංගතය ඇතුළුවන්නට ඇති බවයි.
මේ පිළිබඳ සොයා බැලිමේ දී මෙවැනි ගුවන් යානයක් පැමිණි බවත් එම යානයේ පැමිණි පිරිස ෂෙරටන් හෝටලයේ නිරෝධායනයට යොමු කළ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු කියා සිටියේය. සැප්තැම්බර් 22 දා ඉන්දියානුවේ සිට පිරිසක් පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන පී.කන්දිපන් මහතා ද තහවුරු කර තිබේ.
කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී සහ වැඩ බලන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඉන්දියානුවන් සේවය කළා කියන පුවත අසත්‍යයක් බවයි.
කෙසේ වෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ බ්‍රැන්ඩික්ස් ආයතනයේ පාලන අධිකාරිය කියා සිටියේ ගුවන් යානා එකක් නොව ගුවන් යානා තුනකින් ඉන්දියාවේ සිට බ්‍රැන්ඩික්ස් සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය මෙරටට ගෙන්වාගත් බවයි. ඔවුන් සියලු දෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස් අනුව නිරෝධායනයට යොමුකළ බවත් එම නිරෝධායන කාලය දින 14ක් හා නිවසේ දින 14ක් වශයෙන් දින 28ක් බවත් බ්‍රැන්ඩික්ස් පාලන අධිකාරිය පවසයි. එම සම්පූර්ණ නිරෝධායන කාලයම සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ සිදුවූ බව ද ඔවුහු කියති.
යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු වන්නේ නම් එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකිරීම සාමාන්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්තියයි. මේ පිළිබඳ ඩේලිමිරර් පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියේ බ්‍රැන්ඩික්ස් ආයතනය ප්‍රකාශ කරන පරිදි ඉන්දියාවෙන් පැමිණි කිසිම පුද්ගලයකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යටතේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වී නොමැති බවයි. ඉන්දියාවෙන් පැමිණි බව බ්‍රැන්ඩික්ස් ආයතනයේ පාලන අධිකාරිය විසින් ම පවසන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට මත්තල ගුවන්තොටුපොළ හා ශ්‍රී ලංකන් ගුවන් සේවය අමතා ඩේලිමිරර් පුවත්පත උත්සාහ ගෙන තිබුණ ද එම ආයත විසින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි.
එමෙන් ම බ්‍රැන්ඩික්ස් ආයතනයේ නිවේදනයේ දැක්වෙන්නේ ඇතැම් පුද්ගලයන් පවසන පරිදි ඉන්දියාවෙන් ගෙන ආ රෙදිපිළි මෙරට කර්මාන්තශාලාවල අමුද්‍රව්‍ය ලෙස භාවිතා නොකළ බවයි. තව ද ඉන්දියාවෙන් ඇණවුම් භාර නොගත් බව ද ඉන්දියාවේ සිට පැමිණියේ ශ්‍රී ලාංකික සේවකයන් හැර ඉන්දියානුවන් නොවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
බ්‍රැන්ඩික්ස් ආයතනය යනු ශ්‍රී ලාංකීය ඇඟළුම් නිෂ්පාදන ආයතනයකි. 1969 වර්ෂයේ දී ආරම්භ වන මේ ආයතනය ඇඟළුම් ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ 1972 වර්ෂයේ දී සීදූවේ ඇඟළුම් ආයතනයක් ස්ථාපිත කරමින්. එතැන් පටන් මෙරට ප්‍රමුඛ පෙලේ ඇඟළුම් ආයතනයක් බවට පත්වන බ්‍රැන්ඩික්ස් ආයතනයේ කර්මාන්තශාලා 23ක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇති අතර ඒවායේ සේවක සේවිකාවෝ 53,000ක් පමණ රැකියාවල නිරතවෙති. ඊට අමතරව ඉන්දියාවේ කර්මාන්තශාලා 04ක් හා බංග්ලාදේශයේ කර්මාන්තශාලාවක් ද බ්‍රැන්ඩික්ස් සමූහයට හිමියි.
11 වැනි ඉරිදා ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී සඳුන් ගමගේ සමඟ සාකච්ඡාවකට එක්වන බ්‍රැන්ඩික්ස් සමූහයේ පාලන අධිකාරිය පවසන්නේ ඉන්දියාවෙන් පැමිණි සේවකයන් කිසිවෙකුත් පසුගිය කාලයේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාව හා සම්බන්ධ නොවූ බවයි. එමෙන්ම කොරෝනා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර පටන් මේ දක්වාම සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම තම සියලු කර්මාන්තශාලාවල අනුගමනය කළ බව ද ඔවුන් පවසා තිබේ.
ඔවුන් පවසන්නේ මාර්තු මාසයේ කොරෝනා වසංගත තත්ත්වය හේතුුවෙන් කර්මාතශාලා සියල්ල වසා දමා පසුව ක්‍රමයෙන් රට යථා තත්ත්වයට පත්වෙද්දී විවෘත කළ බවයි. 53,000ක් වූ සේවකයන් අතරින් සේවකයන් 35,000ක් ඔක්තෝබර් මාසයේ මුල් සතිය දක්වා සේවයේ යොදවා තිබූ වව ද ඔවුහු කියති.
මේ කාලයේ දී නිෂ්පාදනය කළේ අත්‍යාවශ්‍ය ඇණවුම් පමණක් බවත් ඉන්දියාවෙන් ඇණවුම් ලබා නොගත් බවත්, ඇමෙරිකාවෙන් ලැබුණු මුඛ ආවරණ මැසීමේ රුපියල් මිලියන 200ක පමණ ඇණවුමක් භාරගෙන නිෂ්පාදන කටයුතු කළ බව ද සමාගම පවසයි.
කොරෝනා ආසාදනය වූ බවට මුළින්ම හඳුනාගත් දිවුලපිටියේ පදිංචි කාන්තාව (ඇතැම් මාධ්‍යයන්හි ඇගේ නම සහ ඡායාරූප මෙන්ම පෞද්ගලික විස්තර ද සඳහන්ව ඇතත් කොරෝනා සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණයේ ආචාරධර්ම අනුව අපි එම තොරතුරු සඳහන් කරන්නේ නැත.) මෙවන් කතාවකි.
” මම සේවය කරන්නේ සීඑම් – 23 කියන අංශයේ. එතැන මහන්නේ ඉන්දියාවට යන ඇණවුමක්. මම හරියටම දන්නේ නැහැ ඉන්දියාවෙන් කට්ටිය ආවාද කියලා. විවිද අය විවිද දේ කියනවා. කට්ටිය ඇවිත් ඇවිත් යනවා. ඒ අය අපිත් එක්ක කතා කරන්නේ නැහැ ලොකු අය එක්ක තමයි කතා කරන්නේ. ඒ අය එන්නේ සාම්පල් බලන්න. ඉන්දියාවේ අයද කියලා දන්නේ නැහැ. මගේ ලයින් එකේ සාම්පල් පවා ඒ අය බැලුවා. ඇදුම් බලලා අඩුපාඩු පෙන්වලා තව වෙන්න ඕනෑ දේවල් කියනවා. පහුගිය මාසේ 17 හෝ 18 වගේ දවස්වල ඇවිත් බැලුවා.”
ඇය පවසන්නේ ඇය රෝගාතුර වූයේ සැප්තැම්බර් මස 28 වැනි දිනයේ දී බවයි.
”28 වැනිදා මට ඔළුව කැක්කුමක් හැදුනා. මම සික් රූම් එකේ විවේක ගත්තා. මම ලෙඩවෙන්න ඉස්සෙල්ලා අපේ කොටසේ උණ හැදුණු අය ගොඩක් හිටියා. හෙම්බිරිස්සාව කැස්ස වගේ හැදුණු අයත් හිටියා. අපි හැමෝටම ආයතනයෙන් ම බෙහෙත් ගන්න පුළුවන්. අපි බෙහෙත් ගන්න ගියාම කිව්වා වයිරස් උණක් තියෙනවා කඒක තමයි හැදිලා තියෙන්නේ කියලා. මමත් බෙහෙත් අරගෙන වැඩ කළා. 30 වැනි දා උදේ මට පපුවේ කැක්කුමක් ආවා. කලන්තේ ගතියකුත් ආවා. ළමයි දෙන්නේක මාව සික් රූම් එකට අරන් ගියා. මට සිහිය අඩු වුණා වගේ මගේ පපුව රිදෙනවා කියලා මම කිව්වා. ඒ වෙලාවේ නර්ස් කෙනෙක් ඇවිත් ප්‍රතිකාර කළා. ගැස්ටි්‍රික් වෙන්න ඇති කිව්වා. පස්සේ උගුර කට රිදෙන්න ගත්තා. පස්සේ මාව රොහලට අරන් යන්න කිව්වාම ගම්පහ රෝහලට අරගෙන ගියා. පස්සේ මගේ ගෙදරින් ආවා.”
ඇය පවසන්නේ ගම්පහ රොහලේ දී ඇයට ඉතාමත් හොඳ ප්‍රතිකාර ලැබුණු බවයි. 01 වැනි දා පීසීආර් පරීක්ෂණක් කළ බවත් දෙවැනි දා නිවසට පැමිණි බවත් ඇය පවසන්නීය. 03 වැනි දා සවස ඇයට දැනගන්නට ලැබී ඇත්තේ තමන් කොරෝනා ආසාදිතයකු බවට පත්ව ඇති බවයි.
මෙතැන් සිට සියල්ල වෙනස්වීමට ගත වූයේ සුළු මොහොතකි. දිවුලපිටියේ කාන්තවකට කොරොනා වැළඳී ඇති බවත් ඇය ඇඟළුම් සේවිකාවක බවත් පැතිරයන්ටන විය. ඒ සමගම ඇගේ චරිතය පවා ඝාතනය කරමින් විවිධ පිරිසි කතා පැතිරවුව ද ඇගේ සැමියා පවා ඒ සියල්ල ප්‍රතික්ෂේප කරයි. මේ කටකතාවලට හේතුවූයේ ඇයට කොරෝනා ආසාදනය වූ මූලාශ්‍රය අනාවරණය කර ගත නොහැකිවීමයි.
අලුයම තම නිවසින් පිටත්ව ගොස් යළි රාත්‍රී නිවසට පැමිණෙන සෙනෙහෙබර බිරිඳක් හා ආදරණීය මවක් වූ ඇයට රැකියා ස්ථානයෙන් හැර වෙනත් කිසිම අයුරකින් කොරෝනා ආසාදනය විය නොහැකි බව ඇය ගැන දන්නෝ දනිති.
එමෙන්ම සෞඛ්‍ය අංශ පවා දැන් පවසන්නේ ඇය කොරෝනා ආසාදිත බව හඳුනාගත් පළමුවැන්නා වුව ද පළමුව කොරෝනා ආසාදනය වූ ඇඟළුම් සේවිකාව හෝ සේවකයා ඇය නොවිය හැකි බවයි. එසේනම් ඇයට කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳ උප්පැන්න ලිවීමට අවශ්‍ය වන්නේ නැත.
”සේවය කරන කාට හෝ අසනීප තත්ත්වයක් තියෙනවානම් කර්මාන්තශාලා පරිශ්‍රයේ දී අවශ්‍ය ප්‍රතිකාර කරනවා. නමුත් අපිට මීට පෙර සේවක සේවිකාවන්ගේ අසනීප තත්ත්ව ගැන වාර්තා වුණේ නැහැ. යම් කෙනෙක් සුළු අසනීප තත්ත්වයක් පෙන්නුවත් අපිට තිබුණු විශාලම අභියෝගය වුණේ ඒ කිසිම කෙනෙක් කොරෝනා ලක්ෂණ නොපෙන්වීම. නමුත් පළමු ආසාදිත සේවිකාව හඳුනාගත්තෙත් රෝහලට ගිහින් ප්‍රතිකාර ලබාගත් අවස්ථාවේ දී.” පාලන අධිකාරිය කියන්නේ එවැනි කතාවකි.
” අපේ ලෙඩවෙලා හිටපු අයට නිවාඩු දුන්නෙත් නැහැ. වේදනා නාශක අරගෙන ආපහු පැය දෙකකින් වැඩ කරන්න කියනවා.” සේවිකාවන්ගේ චෝදනාවයි ඒ.
”මේවා අසත්‍ය ප්‍රචාර. අපේ ආයතනයේ ප්‍රතිපත්තියක් තියෙනාවව. කිසිම කෙනෙක් අසනීප තත්ත්වයේ ඉදගෙන සේවයට යෙදාගන්නේ නැහැ. අපි ජාත්‍යන්තර ඇණවුම් භාර ගනිද්දී පවා ඒ ආයතනවලට අපේ සේවකයන්ට ලබා දී ඇති සුබසාධන හා සෞඛ්‍ය පහසුකම් පවා පෙන්විය යුතුයි. කෙනෙකුට අසනීප තත්ත්වයක් ඇත්නම් එය සුවවී එනතුරු නිවාඩු ලබාදෙනවා. කොරෝනා කාලයෙන් පසුවත් සියලුම සෞඛ්‍යා ආරක්ෂතිි ක්‍රම අපි අනුගමනය කළා. ඒවා අපි අනිවාර්යයෙන් ම කළ යුතුයි. කර්මාන්තශාලා පරිශ්‍රයන්ට එන නිලධාරීන් පවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරලා එන්නේ. එය බ්‍රැන්ඩික්ස් සමූහයේ ආයතනික ක්‍රියාපටිපාටියක්. පසුගිය වසරෙ හොඳම ආයතනය ලෙස අපි ව්‍යාපාරික සම්මානය පවා ලැබුවා.” යැයි පවසනේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කළමනාකාරීත්වයයි.
නමුත් ආසාදිත බව හඳුනාගත් පළමු සේවිකාව කියන්නේ වෙනත් කතාවකි.
”මුල් කාලයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කළා. පස්සේ පස්සේ ඒවා ටික ටික ඈත් වුණා. මහන වෙලාවට මුඛ ආවරණ පළඳින්නේ ම නැහැ. අත් සෝදාගෙන ඇතුළුවෙන එකත් නැති වුණා.”
”අපිට මේ දේවල් හංගන්න ඕනෑ නැහැ. රටේ වගකිව යුතු ආයතනයක් හැටියට අපි සමාජ වගකීමක් තියෙනවා. මේ රෝගයෙන් සමාජය ගලවා ගැනීම ට උදව්කරන්න. ඒ නිසා අපි දෙන්නේ සත්‍ය තොරතුරු ඇතැම් අය මේ වගේ වෙලාවට ව්‍යාපාර විනාශ කිරීමේ අරමුණින් අසත්‍ය ප්‍රචාර කරනවා. ” යැයි ද පාලන අධිකාරිය පවසයි.
කවුරුන් මොනවා කීව ද දැන් සියල්ල සිදුවී තිබේ. බ්‍රැන්ඩික්ස් සමූහය යනු මෙරට පවුල් දහස් සංඛ්‍යාවකගේ ආදායම් මාර්ග සපයන ව්‍යාපාරයකි. එපමණක් නොව විදේශ විනිමය රැගෙන එන ආයතනයකි.
එහි හිමිකාරීත්වය පමණක් නොව ඇතැම් ප්‍රධාන නිලධාරීන් ද රජයේ ඉහළම පුද්ගලයන් හා සමීප බවත් ඒ නිසාම ඔවුන්ට මෙරට නීති කිසිවක් බලනොපාන බවත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරති. ඒ ව්‍යාපාරයන්හි සාමාන්‍ය ස්වභාවයයි. ව්‍යාපාරිකයෝ රටේ පාලකයන් හා සම්බන්ධතා පැවැත්වීම අරුමයක් නොවේ. පාලකයන් හා ව්‍යාපාරිකයන් අතර හොඳ අන්‍යොන්‍ය සහ සම්බන්ධයක් තිබිය යුතුය නැතිනම් රටක් දියුණු වන්නේ නැත. ව්‍යාපාරිකයකුට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නැත්නම් එය අරුමයකි.
ඒවා ගැන අටුවා ටීකා ටිප්පිනි ලිවිය යුතු නැත. අපට අවශ්‍ය වන්නේ කොරෝනාවලින් ආරක්ෂාවීම හා ජන සමාජය කොරෝනාවලින් ආරක්ෂා කරගැනීමයි.
දැන් යළිත් කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව වෙලා ගනිමින් තිබේ. මේ දෙවැනි රැල්ල ආරම්භ වූයේ බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය හේතුවෙන් බව බොහෝ දෙනකු කීව ද ශ්‍රී ලංකාවේ රෝහල්වල පසුගිය මාස කිහිපයේ බාහිර රෝගී අංශවලින් හා පුද්ගලික බෙහෙත් ශාලාවලින් ප්‍රතිකාර ලබාගත් රෝගීන් පිළිබඳ යම් සංගණනයක් කළ හැකිනම් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස හා නිව්මෝනියා තත්ත්වයන්ට වැනි කොරෝනා රෝග ලක්ෂණ අඩු වැඩි වශයෙන් තිබූ කී දෙනෙක් නම් ප්‍රතිකාර ලබාගත්තා දැයි තේරුම්ගත හැකිවනු ඇත.
බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවට කොරෝනා වයිරසය ඇතුළු වූයේ ඉන්දියාවෙන් පැමිණියා යැයි කියන පිරිසකගෙන් ද නැත්නම් මේ සමාජයේ තිබූ කොරෝනා වයිරසය බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවට රිංගාගෙන හැඩ වැඩ වී මතුවූවා දැයි අප දන්නේ නැත.
කෙසේ වෙතත් අවසාන වශයෙන් කිව යුතු දෙයක් තිබේ. මාරයා ද ආර්ථික ඝාතකයා ද දැන් අප එළිපත්ත අසළටම පැමිණ තිබේ. වෛද්‍ය විද්‍යාවේ අනුහසින් මාරයා ජයගත්ත ද අප කොරෝනා නිසා වළ පල්ලට වැටීමනම් නවතා ගත නොහැකි වනු ඇත.