කොරෝනා වසංගතය හේතුවෙන් සියලුම ආකාරයේ රැස්වීම් පැවැත්වීම හා මහජන හමු නැවත දැනුම්දෙන තුරු තහනම් කර තිබිය දී ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්වීම පැවැත්වීම සඳහා එහි සාමාජිකාවන් 3000ක් කැඳවීමට සංගමයේ සම ලේකම්වරු කටයුතු කර තිබේ.
ඔවුන් විසින් ඒ බව දක්වමින් සෑම සාමාජිකාවකට ම ලිපි තැපැල් කරමින් තිබෙන අතර එහි දැක්වෙන්නේ ජූලි මස 31 වැනි දින උදෑසන 9.30ට ආදි ශිෂ්‍ය සංගමයේ මහ සභා රැස්වීම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බවයි.
නිල බලයෙන් විද්‍යාලයීය ආදි ශිෂ්‍යා සංගමයේ සභාපතිනිය වන වැඩබලන විදුහල්පතිනි ශාන්ති සෙනෙවිරත්න මෙම කැඳවීමේ ලිපියට අත්සන් තබා නැති අතර ඒ වෙනුවට මේනකා වික්‍රමතිලක නම් උප සභාපතිනියක් අත්සන් තබා ඇත. සම ලේකම්වරු ලෙස රූමනි ජයසේකර සහ උපුල්ශානි ගුණවර්ධන අත්සන් තබා තිබේ.
මෙහි එක් තැනක දැක්වෙන්නේ රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් චක්‍රලේඛනයට අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමිින් මුලු ශාලා ධාරිතාවෙන් ¼ක පිරිසක් සහභාගී කරවාගැනීමට අදහස් කරන බවයි.
සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය ශ්‍රවණාගාරය 500ක ආසන ධාරිතාවෙන් යුතු ශාලාවකි. එහි ¼ක් යනු 125ක පිරිසකි. එසේ නම් ආසන ධාරිතාව අනුව උපරිම 125ක පිරිසක් සමඟ රැස්වීම පැවැත්වීමට නම් 3000ක පිරිසකට ලිපි යැවීමට තරම් සම ලේකම්වරු සහ උප සභාපතිනිය කටයුතු කිරීම අමනෝඥ ක්‍රියාවකි.
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අප මේ පිළිබඳ විමසූ වට දැනගන්නට ලැබුණේ මෙවැනි රැස්වීමක් සඳහා සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පතිනිය හෝ ආදි ශිෂ්‍යා සංගමය විසින් හෝ අවසරයක් ගෙන නොමැති බවයි.
එබැවින් මෙය නීති විරෝධී රැස්වීමක් බවත්, රැස්වීමක් සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50ක් බවත් ඒ රැස්වීම් ද කොරෝනා වසංගතය සම්බන්ධ හා අත්‍යාවශ්‍ය පරිපාලන රැස්වීම් පමණක් බවත් පැවසූ සෞඛ්‍ය බලධාරීන් මෙවැනි රැස්වීමකට පැමිණෙන සියලු දෙනාම නිරෝධායන පනත යටතේ නිරෝධායනයට යොමුකිරීමට සිදුවන බව ද පවසයි.
මෙලෙස ආදි ශිෂ්‍යා සංගමයේ මහ සභා රැස්වීමකට බව පවසමින් නීති විරෝධී ලෙස සාමාජිකාවන් 3,000ක පමණ පිරිසක් කැඳවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමසීමට එම විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිනි ශාන්ති සෙනෙවිරත්න ඇමතීමට උත්සාහ ගත්ත ද එය සාර්ථක වූයේ නැත.
විද්‍යාලයේ ප්‍රකාශකයකු අප සමඟ කියා සිටියේ විදුහල්පතිනියගේ දැඩි වුවමනාවට මෙම රැස්වීම කැඳවන බවයි. ඊට ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් විරුද්ධත්වය ප්‍රකාශ කළ ද විදුහල්පතිනියගේ බලකිරීමට ලිපි යවා ඇති බව ද එම ප්‍රකාශිකාව සඳහන් කළාය.
එමෙන්ම මෙම ලිපියට වැඩබලන විදුහල්පතිනිය නිල බලයෙන් සභාපතිනිය ලෙස අත්සන් තැබිය යුතු වුව ද ඇය නීති විරෝධී ලිපියකට අත්සන් තැබීමෙන් වැළකී බළලුන් ලවා කොස්ඇට බා ගැනීමේ ප්‍රතිපත්තියක කටයුතු කරන බව ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශිකාවක අප සමඟ කියා සිටියාය.
අධ්‍යාපන අමාත්‍යාංශයට මෙම රැස්වීම පිළිබඳ දැනුම් දී ආදි ශිෂ්‍යා සංගමයේ රැස්වීමක් පැවැත්වීමට වසංගත තත්ත්වයක් තුළ අවසර ලැබෙන්නේ ද යන්න විමසූ විට අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු කියා සිටියේ ආදි ශිෂ්‍ය සංගමයේ කමිටුව රැස්වී අවශ්‍ය තීරණ ගැනීම කළ හැකි බැවින් මහ සභා රැස්වීම අත්‍යාවශ්‍ය නොවන බවයි. එමෙන්ම ආදි ශිෂ්‍යා කමිටුවට යෝජනා සම්මතයකින් සිය නිල කාලය දීර්ඝ කර ගැනීමට හැකියාව ඇති බැවින් වසංගත කාලයේ දී මෙලෙස රැස්වීම් පැවැත්වීම නීති විරෝධී බවත් ඒ පිළිබඳ අදාල බලධාරීන් දැනුම්වත් කර රැස්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස දන්වන බව ද හෙතෙම අප සමඟ කීවේය.
සැ.යු.
(මෙම ලිපිය සම්බන්ධයෙන් යම් පාර්ශවයකට හෝ පුද්ගලකුට අගතියක් සිදුවන්නේ නම් ඔවුන් විසින් කරනු ලබන ඕනෑම පැහැදිලි කිරීමක් මීට සමාන ඉඩක් ලබාදෙමින් මෙහි පළකරන බව දන්වා සිටිමි.)

මුන්ට හොඳ එකෙන් පිස්සු එච්චරයි කියන්න තියෙන්නේ, ගාල්ලටත් ලැජ්ජයි.