භාතිය ජයකොඩි සහ සංතුෂ් වීරමන් යන දෙදෙනාට එරෙහිව සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ අධිකරණයට නඩුවක් ගොනුකර තිබේ.
කොළඹ අලුත්කඩේ සිවිල් අධිකරණයේ මෙම නඩුව ගොනුකරමින් ආචාර්ය රෝහණ වීරසිංහ පවසන්නේ තම ගීතයක් අවසරයකින් තොරව වාණිජ අරමුණක් වෙනුවෙන් භාතිය සංතුෂ් දෙදෙනා විසින් අවභාවිතා කර ඇති බවයි.
ජැක්සන් ඇන්තනිගේ “ඇඩ්‍රස් නෑ” චිත්‍රපටය වෙනුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් පද රචනා කර රෝහණ වීරසිංහ සංගීතවත් කළ “මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය සිසිල් බීම දැන්වීමක් සඳහා නිර්මාණකරුවන්ගේ අවසරයකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් භාතිය සංතුෂ් දෙදෙනා විසින් වරද පිළිනොගැනීමත්, නිර්මාණකරුවන් විසින් ඉල්ලූ වන්දි මුදල නොගෙවීමත් හේතුවෙන් මෙලෙස නීතිය හමුවට ගිය බව ආචාර්ය රෝහණ වීරසිංහ පවසයි.
ආචාර්ය රෝහණ වීරසිංහ වෙනුවෙන් නීතිඥ රුක්මාල් කුරේ, විශ්මී ප්‍රනාන්දු සහ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර යන නීතිඥවරු පෙනී සිටිති.