කොළඹ වරායට පසුගිය ජූලි 12 වැනි දා පැමිණ ඇති MA EMESA නෞකාවේ ඇති යූරියා තොගය රසායනික පොහොර තහනම් කිරීමෙන් පසු ගෙන්වන ලද පොහොර තොගයක් නොවන බව බ්‍රවුන්ස් සහ සමාගමට අයත් Agstar PLC සමාගම පවසයි.
මෙම නෞකාවේ යූරියා මෙට්‍රික් ටොන් 10,000ක් පමණ ඇත. එය ලයිබීරියා ධජය යටතේ කොළඹ වරායට යාත්‍රාකර තිබේ. දැනට කොළඹ පිටත වරායේ නැංගුරම් තිබෙන බව නාවික දත්ත අනුව තහවුරු වෙයි.
Agstar PLC සමාගම විසින් නිකුත්කරන ලද ලිපියක දක්වා ඇත්තේ එම නෞකාවේ යූරියා මෙට්‍රික් ටොන් 9,795ක් එහි ඇති බවයි. ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 39ක් වටිනා මෙම පොහොර තොගය පසුගිය මාර්තු මස 06 වැනි දින නැවට පටවා ඇති බවත් රජය පොහොර තහනම පැනවූයේ මැයි මස 06 වැනි දා බවත් එම සමාගම දැනුම් දෙයි.
සමාගම පවසන්නේ මෙම යූරියා පොහොර තොගය සඳහා ඇනවුම ලබා දී ඇත්තේ 2021 ජනවාරි 29 වැනිදා බවයි. පොහොර ආනයනය සඳහා අංක 0042002210002968 යටතේ ණයවර ලිපි (LC) යවා ඇත්තේ 2021 පෙබරවාරි 12 වැනිදාය. එසේම MA EMESA නෞකාව වෙත එම පොහොර තොගය පැටවීම සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් අනුමැතිය හිමිව ඇත්තේ මාර්තු 04 වැනිදාය.
ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් අදාළ පොහොර තොගය මාර්තු 22 වැනිදා නිදහස් කරගැනීම සඳහා වන අනුමැතිය එම සමාගම වෙත ලබා ඇතැයි Agstar PLC සමාගම පවසයි.
Agstar PLC සමාගම දැනුම් දෙන්නේ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබිය දී මාර්තු 11 වැනි දින ප්‍රධාන එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මලක්කා සමුද්‍ර සන්ධියේ දී නැව නතර වී ඇතිබවයි. එය යළි අලුත්වැඩියා කිරීමෙන් පසු යාත්‍රා කිරීම හේතුවෙන් ජූලි 12 වැනි දා දක්වා නෞකාව පැමිණීම ප්‍රමාද වූ වත් සැළසුම් කළ පරිදි මාර්තු 15 වැනි දා වනවිට මෙරටට පැමිණීමට නොහැකි වූ බවත් එම සමාගම දැනුම් දෙයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සමාගම අදාළ නෞකාව කොළඹ වරාය තුළ අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු යොදා තිබේ. එහිදී මෙම සැපයුම් තොගය පැමිණීම ප්‍රමාදවීම නිසා සිදුව ඇති අලාභය වෙනුවෙන් එම නෞකාවෙන් වන්දි ඉල්ලීමක් සිදු කරන බවත් Agstar PLC පවසයි.
එහිදී ශ්‍රී ලංකා රේගුව සහ වරාය අධිකාරිය වෙත මේ සම්බන්ධයෙන් ගෙවිය යුතු මුදල් සමාගම විසින් දැනටමත් ගෙවා ඇතැයිද සඳහන් කරයි.
ගෙනවිත් ඇති යූරියා පොහොර තොගය නිදහස් කරගැනීම පිළිබඳව බලධාරීන් සමගින් සාකච්ඡා කරමින් තිබෙන බවත්, මෙහිදී සමාගම විසින් කිසිදු ආකාරයක නියාමනයක් කඩකර නොමැතිබවත් Agstar PLC සමාගම සඳහන් කර තිබේ.
අදාල පොහොර තොගය මෙරටට ගෙන්වන ලද්දේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතිය ඇතිව බවත් තේ සඳහා අවශ්‍ය නයිට්රජන් පොහොර අවශ්‍යතාව සඳහා මෙම තොගය ගෙන්වා ඇති බවත් අදාල සමාග පවසයි.
එම පොහොර වැවිළි සමාගම් සහ කුඩා තේ වතු හිමියන්ගේ පොහොර අවශ්‍යතාව සඳහා ලබාදීමට ජාතික පොහොර ලේකම් කාර්යාලයනේ ලබාදුන් අනුමැතියක් ද Agstar PLC සමාගම සතුව තිබේ.
මේ අතර අදාළ රසායනික පොහොර තොගය මෙරටට ගොඩබැස්සවීම සඳහා නියමිත අවසරයක් හිමි නොවුණහොත්, තමන්ට ඉන් සිදුවන අලාභය මඟහරවා ගැනීම සඳහා එම පොහොර තොගය වෙනත් අවශ්‍ය ස්ථානයක් වෙත ආපසු යැවීම සඳහා සුදුසු කටයුතු යෙදීමට ද එම සමාගම අපේක්ෂා කරයි.
2021 මාර්තු 31 වැනිදා වනවිට Agstar PLC සමාගමේ කොටස් හිමිකාරීත්වය අතරින් 31.71% ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ සියෙරා හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමටය. එසේම 19.58%ක කොටස් ප්‍රතිශතයක් LOLC සමාගම වෙත හිමිව ඇත. එසේම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම වෙත 13.18%ක ප්‍රතිශතයක් හිමිය. ඒ අනුව අද වනවිට සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වයක් (32.76%ක්) පවතින්නේ LOLC සමූහයටයි.