නාවලපිටිය නගර සභාවේ බලය අද (15) තමන් සතුකරගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පෙරටු කරගනිමින් නිරෝධායන නීති නොතකා ජය සැමරූ අතර පොලිසිය ද කිසිවක් සිදු නොවූ ආකාරයෙන් එදෙස බලා සිටින අයුරු දක්නට ලැබිණි.
නාවලිපිටිය නගර සභාවේ පාලනය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ අතර එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සසංක සම්පත් සංජීව සභාපති ධූරයන් සහ මන්ත්‍රීධූරයෙන් ඉවත්කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබිණි.
ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධූරයට නව සභාපතිවරයකු පත්කිරීමේ ඡන්ද විමසීම අද පැවැති අතර එහි දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් සභාපති ධූරටය තරඟ කළ අමල් ප්‍රියංකර ඡන්ද 07ක් ලබාගත් ඊට එරෙහිව ලැබුණේ ඡන්ද 05ක් පමණි.
නාවලපිටිය නගර සභාවේ සංයුතිය වූවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 07ක්, ශ්‍රී ලංකා පොදුන පෙරමුණේ මන්ත්‍රීවරු 05ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක්, ස්වාධීන මන්ත්‍රීවරයෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකි.
අද (15) නවස සභාපතිවරයා පත්කර ගැනීමේ නිලවරණය මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථවේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනකු පැමිණ සිටියේ නැත. මෙතෙක් එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වූ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුන පෙරමුණේ සභාපති අපේක්ෂක අමල් ප්‍රියංකරට සහය දැක්වීම හේතුවෙන් ඔහුට වැඩි ඡන්ද දෙකක් හිමිවිය.
නව සභාපතිවරයාට සුබ පැතීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නගර සභාවට පැමිණි අතර ඉන් පසු නාවලපිටියේ ජය සමරමින් ඇමතිවරයා ඇතුළු විශාල පිරිසක් නගරය පුරා ගමන් කළහ.

