සූර්ය කුණාටුවක් පෘථිවිය දෙසට ගමන්කරමින් තිබෙන බවත් මේ හේතුවෙන් විදුලි බල සැපයුමට සහ දුරකථන තරංග, චන්ද්‍රිකා විකාශන කටයුතු සහ GPS පද්ධති අකර්මන්‍ය විය හැකි බවටත් මේ දිනවල ප්‍රචාරයවන පුවතේ කිසිදු සත්‍යතාවක් නැත.
කවුරුන් හෝ විසින් නිර්මාණය කරනු ලබන ඕනෑම අසත්‍ය කතාවක් කිසිදු විමසීමකින් තොරව ප්‍රචාරය කරනු ලබන වෙබ් අඩවි කිහිපයක සහ සමාජ මාධ්‍ය පිටුවල මෙම අසත්‍ය පුවතට විශාල ප්‍රචාරයක් ලැබෙමින් තිබේ.
එම අසත්‍ය පුවතේ දැක්වෙන්නේ සූර්යයාගේ සිට පැයට කිලෝ මීටර මිලියන 1.6ක වේගයෙන් සූර්ය කුණාටුවක් පෘථිවිය දෙසට පැමිණෙන බව නාසා ආයතනය තහවුරු කර ඇති බවයි. එමෙන් ම මේ හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය ද අධික ලෙස ඉහළ යා හැකි බව ද මෙහි දක්වා ඇත.
මෙය විද්‍යාත්මක කරුණු පැහැදිළිව තේරුම් නොගැනීම හෝ හිතා මතා විකෘති කිරීම හේතුවෙන් නිර්මාණය කරන ලද වැරදි පුවතකි.
අභ්‍යාවකාශ විද්‍යාඥයන් සූර්යයාගේ චක්‍රකාර රටාවක් හඳුනාගෙන ඇති අතර එය වසර 11ක කාලයක් පුරා සිදුවන්නකි. එම චක්‍ර මාලාවක නව චක්‍රය 2019 දෛසැම්බර් මාසයේ දී ආරම්භ වූ අතර පසුගිය ජූලි මස 03 වැනි දා මෙම නව සූර්ය චක්‍රයේ විශාලත ම ගිනිදැල් නිකුතුව සිදුව තිබේ.
ඒ බව NASA ආයතනයට අනුබද්ධිතව ක්‍රියාත්මක වන ඇමෙරිකා එක්සත් ජනපද අභ්‍යාවකාශ කාලගුණ පුරෝකතන මධ්‍යස්ථානය US Space Weather Prediction Center එදින ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 10.29ට නිකුත් කර ඇති වාර්තාවක දක්වා ඇත.
එම මධ්‍යස්ථානය සූර්ය ගිනිදැල්වල තීව්‍රතාව මනිනු ලබන අතර තීව්‍රතාව මැනීමේ දී A ලෙස කුඩාම ගිනිදැල් සටහන් කරනු ලබන අතර X යනුවෙන් විශාලම ගිනිදැල් සටහන් කරයි. එය ද X1, X2, X3 වශයෙන් දක්වයි. X1 ට වඩා X2 දෙගුණයක් ප්‍රභලය. X3 තුන් ගුණයකි. එදින නිරීක්ෂණය කළ සූර්ය ගිනිදැල් X 1.5 ක තීව්‍රතාවකින් යුතු බව ද එම ආයතනය සඳහන් කර තිබිණි.
එක්සත් ජනපද අභ්‍යාවකාශ කාලගුණ පුරෝකතන මධ්‍යස්ථානයේ වැඩසහන් සම්බන්ධීකාරක බිල් මෝර්ටාග් පවසා ඇත්තේ මෙය මෙගාවොට් මිලියන 100ක හයිඩ්‍රජන් බෝම්බ එකවර පුපුරායාමක ශක්තියට සමාන බවයි.
“සූර්ය ගිනිදැල් කියන්නේ අභ්‍යාවකාශ කාලගුණයේ කොටසක්. සාමාන්‍යයෙන් සූර්යයා විසින් ඇති කරන පෘථිවිය අවට අභ්‍යාවකාශයට බලපෑම් කරන තත්ත්වයක්. ගිනිදැල් නිසා ඇතැම් අවස්ථාවල දී පෘථිවියට බලපෑම් සිදුවිය හැකියි. ඉතාමත් කලාතුරකින් එමගින් ඉහළ සංඛ්‍යාත සන්නිවේදන කටයුතුවලට වගේම ගෝලීය ස්ථානගත කිරීම් පද්ධති (GPS) සඳහා ද බලපෑම් ඇතිවිය හැකියි.” ඔහු පවසයි.
අභ්‍යාවකාශ විද්‍යාඥයන් පවසන්නේ සූර්යයාගේ වත්මන් චක්‍රයේ තවමත් ඇත්තේ නිහඬ කාලයක් බවයි. එය 2024 වර්ෂයෙන් පසු වඩාත් සක්‍රීය වී 2025 ජූලි මාසයේ දී උපරිම ක්‍රියාකාරීත්වයක් දක්වා ගොස් යළි ක්‍රමයෙන් සක්‍රීයබව අඩුවිය හැකි බව ද විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.
මෝර්ටාග් පවන්නේ සාමාන්‍ය සූර්ය චක්‍රයක දී ජූලි 03 වැනි දා ඇති වූ සූර්ය ගිනිදැල් වැනි ගිනිදැල් 150ක් පමණ හටගන්නා බවයි. නමුත් එම කාලයේ දී කුඩා ගිනිදැල් 1500ක් පමණ ඇතිවන බවද හෙතෙම පවසයි.
“මේ ගිනිදැල්ල අපි නිරීක්ෂණය කළා. එය හටගෙන දින කිහිපයක් තුළ සූර්යයාගේ භ්‍රමණයත් සමගම එහි පිහිටීම පෘථිවි දෘෂ්ඨියෙන් අතුරුදන් වුණා. සති දෙකකින් පමණ පසු මෙහි අලුත්ම තත්ත්වය දැකගත හැකි වේවි. නමුත් එතෙක් අපි ගිනිදැල්ලට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇතිවන පිපිරීම් නිරීක්ෂණය කරනවා.”
පර්යේෂකයන් පවසන්නේ මෙම සූර්ය ගිනිදැල් ඇතැම් අවස්ථාවල දී සූර්ය කුණාටුවක් ලෙස හඳුන්වන මේ සන්සිද්ධියෙන් පෘථිවියට කිසිදු බලපෑමක් නොමැති බවයි. කෙසේ වෙතත් මෙය සති දෙකක් පමණ පවතින බවත් එය දිගටම නිරීක්ෂණය කරන බවත් මෝර්ටාග් පවසා තිබේ.
සත්‍ය විකෘති කරමින් බොරුවක් කීවේ කවුද ?
මෙම විද්‍යාත්මක කරුණු නිසි පරිදි තේරුම් නොගත් හෝ හිතාමතාම එය විකෘති කරන ලද ඉන්දියාවේ සිට ක්‍රියාත්මකවන livemint.com සහ indiatoday.in නමැති වෙබ් අඩවි දෙකක ප්‍රකාශයට පත්කර ඇත්තේ සූර්ය කුණාටුවක් පැයට කිලෝ මීටර මිලියන 1.6ක් වේගයෙන් ළඟා වෙමින් පවතින බවයි.
එමගින් පෘථිවියේ දුරකථන, රූපවාහිනී හා ගුවන්විදුලි සන්නිවේදන පද්ධති මෙන්ම විදුලි සැපයුම් ද බිඳවැටෙන බව හා GPS පද්ධතීන් ද විනාශ වී යා හැකි බව දක්වා තිබිණි. එමෙන් ම පෘථිවිය දැඩි උෂ්ණත්වයකට ද පත්විය හැකි බව ඔවුන් ප්‍රකාශ කර තිබිණි.
මේ පුවත් තම මූලාශ්‍ර ලෙස යොදාගන්නා මෙරට ඇතැම් මාධ්‍ය ආයතන, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය භාවිතා කරන ඇතැම් පුද්ගලයන් එම වැරදි පුවතට විශාල ප්‍රචාරයක් ලබා දෙමින් සිටියි.
rata.lk පාඨක ඔබට
rata.lk පාඨකයන් වෙත අප ප්‍රකාශ කර සිටින්නේ මෙම අසත්‍ය පුවත් සම්බන්ධයෙන් කිසිදු බියවීමක් අතිකර නොගන්නා ලෙසයි. අපි ඔබට නිරන්තරව ම විද්‍යාත්මක සත්‍ය ගෙන ඒමට බැඳී සිටින්නෙමු.