“The Divers, The Diver, Please Help. Waters coming inside, We are MV STAR ANGIE”
හදිසියේ ම මේ පණිවිඩය ලැබුණේ එක්තරා දිනක අළුයම 2.30ට පමණය. හම්බන්තොට ආසන්න මුහුදේ දී අනතුරට පත්වී ජලය ඇතුළට කාන්දුවීම හේතුවෙන් ගිලී යාමේ දැඩි අවාදානමට ලක්ව සිටි නැවකින් උදව් ඉල්ලා සිටියේ “ද ඩයිවර්ස්” නමැති ගාල්ලේ නැව් සේවා ආයතනයකිනි.
එම ආයතනයේ හිමිකරුවා යකඩයා නමින් ගාල්ලේ ප්‍රසිද්ධියක් උසුලන චතුර කුඩච්චි ය.
මේ ඇමතුමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ඔහු තමන්ගෙන් උදව් ඉල්ලා සිටි නැව වෙනුවෙන් ඒ මොහොතේ සිට කැපවී මාසය කිහිපයක මහත් පරිශ්‍රමයකින් පසු ඒ නැවත් ශ්‍රී ලංකා මුහුදු තීරයත් ආරක්ෂා කරගැනීමට සමත්වූයේය.
එදා චතුර කුඩච්චි ඇතුළු පිරිසගේ උත්සාය ව්‍යර්ථ වූයේ නම් ශ්‍රී ලංකා මුහුදේ සිදුවන අති විශාල පාරිසරික දූෂණයක් ලෙස එය වාර්තාවනු ඇත.
අනතුරට පත්වූ නැවේ ටැංකි කිහිපයක දමා ගල් අඟුරු ටොන් 159,000ක් තිබිණි.
“ශ්‍රී ලංකාවේ ගාල්ල වරාය කේන්ද්‍රකරගෙන ආරම්භ කරපු අපේ ද ඩයිවර්ස් ආයතනය මුහුදේ ගමන්කරන නැව්වලට සේවා සැපයීමට අමතරව ඒවා අලුත්වැඩියා කිරිම කරනවා. වසර ගණනාවක සිට අනතුරට ලක්වන නැව් දිය යටදී අලුත්වැඩියා කිරීමේ ප්‍රසිිද්ධියක් උසුලන ආයතනයක් නිසා නැව් සමාගම් අපි ගැන දන්නවා. අපේ සේවාව ලබාගෙන තිබෙන නැව් අපි ගැන අනිත් නැව් සමාගම්වලට දැනුම් දෙනවා. මේ නැව අපිව සොයාගත්තේ ඒ විදියට අදින් වසර කිහිපයකට පෙර අනතුරට පත්ව තිබූ BIG BANG කියලා නැවක් මුහුදේ දී ම අලුත්වැඩියා කළා. එදා අනතුරට ලක්වූ ගල් අඟුරු සහිත MV STAR ANGIE නැවට අපි ගැන කියා තිබුණේ ඒ BIG BANG කියන නැවෙන්.”
වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, වරාය පොලිසිය ආදී ආයනවලට දැනුම් දී අවශ්‍යතා සකසා ගන්නා අතර අනතුරට ලක්වූ නෞකාව ද ඇතුළට එකතුවන ජලය ජල පොම්පවලින් ඉවත්කරමින් ගාල්ල දෙසට පැමිණ තිබිණි. චතුර කුඩච්චිගේ උපදෙස වූයේ ගාල්ලේ සිට නාවික සැතපුම් 16ක් දුරින් නැංගුරම් දමන ලෙසයි.
නැව මීටර 292ක් දිගැතිය. පළල මීටර 45කි. නැවේ ඇතුළත ගැඹුර මීටර 18කි. එහි ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ටැංකි ආකාරයනේ ඉදිකර ඇත. ඒවායේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 159,000ක් පටවා තිබිණි.
ග්‍රීසියේ ඇතන්ස් නගරය මූලස්ථානය කරගත් star bulk/star trident VLLC නමැති සමාගමට අයත් මෙම නැව ලයිබීරියා ධජය යටතේ සිංගප්පූරුවේ සිට ඉන්දියාවේ බටහිර දෙසට යාත්‍රා කරමින් තිබිණි.
එදින ම චතුර කුඩච්චි ඇතුළු පිරිස අනතුරට පත්වූ නැවට ගොඩවූහ. නැවේ හානිය අධ්‍යයනය කිරීම සඳහා ගිය මේ ගමනට දියයට ඡායාරූප හා වීඩියෝ ශිල්පීන් ද එක්ව සිටියේය.
“ අපි නැවට යනවිට නැවට විශාල වශයෙන් ජලය කාන්දුවෙමින් තිබුණා. ඔවුන් ජල පොම්ප 08ක් යොදාගෙන මේ වතුර ඉවත්කරනවා. කාර්ය මණ්ඩලයේ ම සිටියේ 23 දෙනයි. ඔවුන් සියලු දෙනා දැඩි වෙහෙසකට පත්ව තිබුණා. ක්‍රමයෙන් මේ ජලය පැමිණීම වැඩි වෙමින් තිබුණු නිසා ලොකු අවධානමක් තිබුණා නැව ගිලී යාමට. අපි ඉතා ඉක්මණින් මේ සඳහා පිළියම් යෙදිය යුතුයි. නැවේ මීටර 20ක් පමණ ජලය යට තිබෙනවා. මෙතැනට බැහැලා මමත් අපේ අනෙක් තාක්ෂණ ශිල්පීන් කිහිප දෙනාත් පරීක්ෂා කළාම සිදුවෙලා තිබුණා හානිය සුළුපටු දෙයක් නෙවෙයි.”
නැවේ අවරය එන්ජිමට සම්බන්ධවන ස්ථානයේ ඇති බෙයාරින් කැඩී ගොස් තිබිණි. එය ඇදවී එළියට පැන තිබූ අතර එතැන ඇති ස්ටර්න් ටියුබ් නමැති කොටස කැඩී ගොස් නොනවත්වා ජලය නැව ඇතුළට ගලා එමින් තිබිණි. මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් නැව පැද්දෙන පැද්දෙන වාරයක් පාසට මේ හානිය වැඩි වෙමින් තිබිණි.
සිදුව ඇති හානිය තේරුම්ගත් කුඩච්චි ඇතුළු පිරිස තම කාර්යය සැළසුම් කිරීම සඳහා එදිනම ගොඩබිමට පැමිණියහ.
නැවේ හානිය පිලිබඳ නැව අයත් සමාගමට ඡායාරූප සහ වීඩියෝ සාක්ෂි සහිතව දැනුම් දුන් කුඩච්චි එය අලුත්වැඩියා කළ හැකි ආකාරය පිළිබඳව ද එම සමාගම සහ නැවේ රක්ෂණ සමාගම දැනුම්වත් කළේය.
මේ අතර නැව අයත් සමාගමේ නිලධාරීන් පිරිසක් ද කඩිනමින් ශ්‍රී ලංකාවට පැමිණ කුඩච්චි සමඟ එක්වූහ.
“නැව් සමාගම ලොකු අමාරුවක වැටිලා තිබුණා. අපි විවිධ යෝජනා ඉදිරිපත් කළා. මෙහි තිබෙන ගල් අඟුරු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ලබා දීලා නැව හිස් කරලා අලුත්වැඩියාවක් කරන්න. නමුත් ඒකට ගල් අඟුරු අයිති සමාගම කැමති වුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණා ඉන්දියාවේ ගමනාන්තය දක්වා මේ ගල් අඟුරු තොගය රැගෙන යාමට. ගල් අඟුරු බර නිසා නැවේ ස්ථිර අලුත්වැඩියාවක් කරන්න බැහැ. ඒ නිසා යෝජනවා වෙනත් නැවක් ගෙනවිත් ගල් අඟුරු ඒ නැවට පටවලා මේ නැවේ අලුත්වැඩියාව කිරීම.”
නමුත් ඊට විශාල බාධාවක් වූයේ මුහුදේ ඇති රළු ස්වභාවයයි. වෙනත් නැවක් ගෙන්වා ගල් අඟුරු තොගය පැටවීම මහ මුහුදේ දී කළ නොහැකි දෙයකි. ඒ සඳහා ගාල්ල වරාය හෝ හම්බන්තොට වරාය ප්‍රයොජනයට ගත නොහැකි වූයේ මේ නැව එම වරාය දෙකටම ඇතුළු කළ නොහැකි තරම් විශාල වීමයි. ඒ නිසා ඔවුන්ට විකල්පය වූයේ ත්‍රිකුණාමලය වරායයි.
ත්‍රිකුණාමලය දක්වා මේ නව ඇදගෙන හෝ යාමට කටයුතු කළහොත් නැව ගිලී යාම අනිවාර්යයෙන් ම සිදුවන්නකි. එබැවින් මේ සඳහා තාවකාලික පිළියමක් යෙදීම අත්‍යාවශ්‍ය වී තිබිණි. එය පහසු නැත. මුහුදු මට්ටමේ සිට මීටර 20ක් පමණ ගැඹුරින් සිදුව ඇති හානියට අළුත්වැඩියාවක් කිරීම යනු සුළුපටු කාර්යයක් නොවේ. එමෙන්ම ජලය කාන්දු වන්නේ අවරය සවිවූ ස්ථානයෙනි. සිදුවූ හානිය අනුව එම ස්ථානය විවෘත කළ යුතුය. විවෘත කළ වහාම ජලය විශාල වශයෙන් නැව ඇතුළට ගමන් කරයි. සුළු ප්‍රමාදයකින් නැව ගිලී යාමට ඉඩ ඇති බව සියල්ලෝම දනිති.
“අපි අභියෝගය භාර ගත්තා. නැව් සමාගමට අපි මේ කාර්යය කරන ආකාරය පියවරෙන් පියවර විස්තර කළා. ගතවන කාලය ගැනත් කිව්වා. ඔවුන් සාකච්ඡා වට ගණනාවකින් පස්සේ කැමති වුණා. අපි ඉක්මනට වැඩේ පටන්ගත්තා.”
නමුත් එය ජීවිතයත් මරණයත් අතර සටනක් වැනිය. සුළු වරදකින් සියල්ල විනාශ වී යාම ක්ෂණිකව සිදුවනු ඇත.
චතුර කුඩච්චිගේ කණ්ඩායමට දියයට පෑස්සීමට, වෑද්දුම් කිරීමට, කැපුම් සිදුකිරීමට හැකි පිරිසක් ඇතුළත් වූහ. මේ සියලු දෙනා සමඟ පෙරමුණ ගනිමින් චතුර කුඩච්චි යළි දියට බැස්සේය. කැඩී බිඳී ගිය කොටස් ඉවත්කරන විටම බලාපොරොත්තු වූ පරිදිම නැව ඇතුළට ජලය වේගයෙන් ගලා යාමට විය. හැකි ඉක්මණින් යළි ඒවා නිසි පරිදි සකසා ජලය නොයන සේ විශේෂිත ගම් වර්ගයකින් එය මුද්‍රා තැබූ පිරිස යළි අවශ්‍ය තහඩු තබා එම ස්ථානය පාස්සා දැමූහ. දිය යට දී කරන ලද මේ කාර්යයට දින තුනක් ගත විය. දින තුනේ දී ඔවුන් පැය 36ක් වැඩ කර තිබිණි.
එම කාර්යය අවසන්වනවිට නැවට ජලය කාන්දුවීම නවතා ගැනීමට හැකිව තිබිණි. නමුත් නැව පණගැන්වීමේ හැකියාවක් නැත. කිමිදුම් කණ්ඩායමක් නැවේ නවතා ගොඩබිමට ආ චතුර කුඩච්චිට තවත් බැරෑරුම් කාර්යයක් පැවරී තිබිණි. ඒ මේ නැවේ ඇති ගල් අඟුරු ඉවත්කර නැව සංගප්පූරුව බලා යැවීමයි. මේ සඳහා යළි සැළසුම් සකස් කෙරිණි. නැව් සමාගමේ නියෝජිතයන් වන ජෝර්ජ් සහ වැස්ලිස් දෙදෙනා ද ඔහු සමඟ එක්ව සිටියහ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රාවක් ගෙනවිත් නැව ත්‍රිකුණාමලයට ඇදගෙන යාම ආරම්භ කෙරිණි. එය සිදුකෙරුණේ මුහුද ආසන්න ගොඩබිමෙන් ද නැව නිරන්තරව නිරීක්ෂණය කරමිනි. මේ සඳහා දින ගණනාවක් ගත විය.
මේ වනවිට අනතුරට පත් නැවේ එකම ගැලවුම්කරුවා වී සිටි කුඩච්චිට සහායට පැමිණි ටග් යාත්‍රාවේ ඔහුගේ පාසල් මිතුරකු සිටියේය. ගාල්ල මහින්ද විද්‍යාලයේ එකම පන්තිවල ඉගෙනුම ලැබූ මිතුරකු වූ සම්පත් ජයවර්ධන ටග් යාත්‍රාවේ ප්‍රධාන ඉංජිනේරුවාය. වසර ගණනාවකින් හමුවූ මේ අපූරු මිත්‍රයන් දෙදෙනා එක්ව අබලන් වූ දැවැන්ත නෞකාව ගාල්ලේ සිට ත්‍රිකුණාමල වරායට ඇදගෙන ගියහ.
නැව ත්‍රිකුණාමලය වරායට ගෙන ගිය පසු දොඹකර සහිත වෙනත් නැවකින් එහි ඇති ගල්අඟුරු පටවාගෙන ගොස් තවත් නැවකට දැමීම සිදුවිය. ඒ ආකාරයෙන් අනතුරට පත්ව තිබූ මේ දැවැන්ත නෞකාවේ ඇති ගල් අඟුරු තොගය ඉවත්කිරීමට මාසයකට අධික කාලයක් ගත වූ බව චතුර කුඩච්චි පවසයි. මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුවූ නැවකින් ඉවත්කරන ද්‍රව්‍ය මුහුදේ දී තවත් නැවකට පැටවීමේ විශාලතම මෙහෙයුමයි. එම කාර්යය සිදුකරන සම්පූර්ණ කාලයම ද ඩයිවර්ස් ආයතනයේ කිමිදුම්කරුවන් හා තාක්ෂණ නිලධාරීන් තමන් විසින් තාවකාලිකව සිදුකළ අළුත්වැඩියාව නිසි පරිදි පවතින්නේ ද යන්න පිළිබඳ නිරන්තරව විමසිල්ලෙන් පසුවිය.
මෙම කාර්යයේ තවත් විශේෂත්වයක් වන්නේ ඔවුන් දේශීය වශයෙන් සාදා ගන්නා අමද්‍රව්‍ය සහ ශ්‍රී ලාංකිකයන් සතු දැනුම භාවිතා කිරීමයි. කුඩච්චි පවසන්නේ තමන් වෑල්ඩින් කූරක් හෝ ආනයනය කොකරන බවයි. ඔහු ජල කාන්දුව වැළැක්වූ ගම් වර්ගය පවා ඔවුන්ගේම නිෂ්පාදනයක් යැයි ඔහු කියයි.
නැවේ තිබූ ගල් අඟුරු වෙනත් නැවකට පටවා අවසන් කළ ද නැව සිංගප්පූරුව දක්වා ඇදගෙන යාමටනම් මීට පෙර ගාල්ල ආසන්න මුහුදේ දී කරන ලද තාවකාලික පිළියම තවත් ස්ථාවර කළ යුතුව තිබිණි. ඒ අනුව කුඩච්චි ඇතුළු පිරිස යුහුසුළුව ඒ කාර්යය ද ඉටු කළහ. නැවට තවදුරටත් වතුර කාන්දු නොවන බව සහතික වූ පසු නැව් සමාගමේ ඉංජිනේරුවෝ ද රක්ෂණ සමාගමේ නියෝජිතයෝ ද ත්‍රිකුණාමලයට පැමිණ නැව පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ කාර්යය පිළිබඳ සෑහීමකට පත්ව නැව සිංගප්පූරුව බලා රැගෙන යාමට කටයුතු කළහ.
කුඩච්චි පවසන්නේ ශ්‍රී ලංකාව ලෝක නාවික ගමනා ගමනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයේ අපේක්ෂාව බැවින් මෙවැනි සේවා සැපයීම තවදුරටත් වැඩිදියුණු කළ යුතු බවයි.
“ලෝකයේ මේ විදියට දියයට දී නැව් අලුත්වැඩියා කරන සමාගම් තිබෙන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. අපේ රටට විශාල විදේශ විනිමයක් ලබාගැනීමට මේ ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමෙන් හැකිවෙනවා. එය ඉතාමත් පහසුවෙන් කළ හැකි වැඩක්. ලෝකයේ නැව් අතිවිශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව ආසන්න මුහුදෙන් ගමන් කරනාව. මෙයින් අපි උපරිම ප්‍රයෝජන ගත යුතුයි. මේ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි. එවිට මේ රට නාවික සේවා ස්ථානයක් ලෙස ලෝකයේ ම ප්‍රචලිත වෙලා ආර්ථිකයට ඉන් ලොකු දායකත්වයක් දෙන්න පුළුවන්.”
චතුර කුඩච්චි මහතා මෙහි දී මෙම නැව බේරාගැනීමේ මෙහෙයුම සඳහා විශාල සහයෝගයක් ලබාදුන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, වරාය ආරක්ෂක අංශ, විශේෂයෙන් ම ගාල්ල වරායේ සහ ත්‍රිකුණාමලය වරායේ හාබර් මාස්ටර් ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයට ද, ඇමෙරිකානු නාවික හමුදාවට ද ඔහු ස්තූති කළේය.