spot_img
spot_imgspot_img

එක්දින තරඟාවලියත් තරඟයක් ඉතිරිව තිබිය දී ම පරදී

පුවත්

විදෙස්

ශ්‍රී ලකා කණ්ඩායමේ ඉදිරිපෙළ සුණු විසුණු කර දමමින් තරඟයේ වීරයා වූ සෑම් කරන්ගේ පන්දු යැවීම හමුවේ පසුබෑමට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩුළු 08ක පහසු ජයක් වාර්තාකරගත් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෝ තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ තවත් තරඟයක් ඉතිරිව තිබිය දී ම ඊයේ (01) තරඟාවලිය ජයග්‍රහණය කළහ.

එංගලන්ත තනතීරුවල පන්දුවට පහරදෙන ආකාරය ගැන කිසිදු වැටහීමක් නොමැති ආකාරයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පළමු පළමු කඩුලු 4 ම ලකුණු 21 ක් ඇතුළත බිඳ වැටුණද ධනංජය ද සිල්වා, වනිඳු හසරංග සහ දසුන් ශානක ධෛර්යවන්ත ලෙසින් පිති හැසිරවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 241ක් ලබාගැනීමට හැකිවිය.

එංගලන්ත පිතිකරුවන් එම ඉලක්කය සම්පූර්ණ කළේ තවත් කඩුළු 08ක් අතැතිවය

වේගවත් ආරම්භයක් ලබා දුන් ජේසන් රෝයි සහ ජෝනී බෙයාර්ස්ටෝ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක් එක් කළේ පන්දු 76 ක් වැය කරමිනි. එංගලන්ත ජයග්‍රහණය එමගින් වඩාත් පහසුවිය. ධනංජය ද සිල්වාගේ සුපිරි උඩ පන්දු රැකීම හමුවේ රෝයිගේ ඉනිම නිමාවට පත්වන විට ලකුණු 60 ක් ලබා සිටියේය. චාමික කරුණාරත්නගේ නම ඉදිරියෙන් එම කඩුල්ල සටහන් විය. පන්දු 52 කදී ගොඩනැංවුණු එම රෝයිගේ ඉනිම හතරේ පහර 10 කින් සමන්විත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 104 ක් වන විට ජොනී බෙයාර්ස්ටෝගේ කඩුල්ල දවා ගැනීමට වනිඳු හසරංග සමත් වුවත් ජෝ රූට් සහ නායක මෝගන්ගේ ඉනිම නවතා ලීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවූයේ නැත. එංගලන්ත ජයග්‍රහණය කරන විට රූට් සහ මෝගන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 140 ක් එක් කර තිබිණි. එහිදී මෝගන් පන්දු 83 කදී ලකුණු 75 ක්ද රූට් පන්දු 87 කදී ලකුණු 68 ක්ද ලබා කඩුල්ලේ නොදැවී රැඳී සිටියහ.

තරඟයේ දෙවැනි පන්දුවේ සිටම ශ්‍රී ලංකා කඩුළු දඩයම ඇරැඹූ වමත් වේග පන්දු යවන සෑම් කරන් ප්‍රථමයෙන්ම නායක කුසල් පෙරේරාවත්, ඊට පන්දු දෙකකට පසු අවිෂ්ක ප්‍රනාන්දුගේ කඩුල්ලත් දවා ගත්තේය. අනතුරුව ක්‍රියාත්මක වුණු කරන් පැතුම් නිස්සංකව දවා ගන්නා විට ඔහුගේ පන්දු යැවීම පන්දුවාර 1.3 කදී ලකුණු 03 කට කඩුලු 3 ක් වශයෙන් සටහන් විය. චරිත් අසලංක ද කරන්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4 කට යන්තමින් ලකුණු 21 ක් ලෙස සටහන්ව පැවැතිණ.

චාමික කරුණාරත්නගේ කඩුල්ල දවා ගැනීමට සමත්වීමත් සමඟ පන්දුවාර 10 ක් යවමින් ලකුණු 48 කට කඩුලු 5 ක් දවා ගනිමින් තම එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සෑම් කරන් සමත්වූයේය. මේ දස්කම සෑම් කරන්ට තරඟයේ වීරයා සම්මානය ලැබීමට ද හේතුවක් විය.

සෑම් කරන්ගේ සොහොයුරා ටොම් කරන් ද මේ කණ්ඩායේම සිටියේය. ඔවුන් දෙදෙනාග සිම්බාබ්වේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද පැට්‍රික් කරන්ගේ මුණුබුරන් මෙන්ම, පසුව සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරන ලද කෙවින් කරන්ගේ පුත්‍රයෝ ද වෙති. ඒ අනුනව රටවල් දෙකක ජාතික කණ්ඩායම් නියෝජනය කළ මේ පරපුරේ තුන්වැනි පුරුක් අද මෙසේ දස්කම් දක්වති.

සෑම් කරන්ට අනගි සහායක් ලබා දුන් අනෙක් වමත් පන්දු යවන්නා වන ඩේවිඩ් විලී ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු 5 න් 4 ක් දවා ගත්තේය. ලකුණු 64 ක් ඇතුළත එම කඩුලු 4 විලී දවා ගැනීමට සමත්වද්දී වමත් පන්දු යවන්නන් දෙදෙනා ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 10 න් දැවී ගිය කඩුලු 9 ට හිමිකම් කීමද කැපී පෙනුණි.

ඉදිරි පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක භාවය හේතුවෙන් විටෙක ලකුණු 100 සීමාව ඉක්මවාලීමට පවා නොහැකි වනු ඇති තත්ත්වයක තිබූ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 50 අවසන් වන විට කඩුලු 9 කට 241 දක්වා ඉහළ දමා ගැනීමට මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගේ ධෛර්යවන්ත පිතිහරඹවලට හැකියාව ලැබිණ.

අනගි ඉනිමක් ක්‍රියාත්මක කළ ධනංජය සහ වනිඳු හසරංග ශ්‍රී ලංකා පිල ගොඩ ගත්හ. අරවින්ද ද සිල්වාගේ පිතිහරඹය සිහි ගන්වමින් එල්ල කරන ලද මනරම් ඩ්‍රයිව් පහර, කට් පහර සහ පුල් පහරවලින් ලකුණු රැස් කළ ධනංජය දිනයේ කැපී පෙනෙනම පන්දු යවන්නා වුණු සෑම් කරන්ට එරෙහිව පිට පිට පන්දු 3 කට හතරේ පහර 3 ක් එල්ල කිරීමින් පීඩනය හැසිරවීම ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනිණ. ඊයේ දිනයේ ධනංජය ලබාග්ත ලකුණු 91 ඔහු මෙතෙක්  ජාත්‍යන්තර එක්දින තරඟයක දී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද වෙයි.

වනිඳුගේ පිත්තෙන් වාර්තා වූයේ ලකුණු 26 ක් වුවද එය ද ශ්‍රී ලංකාවට සැණසිලිදායක ඉනිමක් විය. වනිඳු දැවීයාමෙන් පසු ධනංජයට එකතු වුණු දසුන් ශානක 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක් එක් කළේය. ලබාගත යුතුව ම තිබූ ශතකයට ලකුණු 9 ක් තිබියදී ධනංජයගේ වටිනා ඉනිම නිමාවට පත්වූයේ ඔහු මුහුණු දුන් 91 වැනි පන්දුවේදීමය. ඒ වනවිට ඔහු තම ඉනිමට හතරේ පහර 13 ක් එල්ල කර තිබිණි

එම දැවී යෑමත් සමඟ පිතිකරුවන් රහිතව පිටියේ තනි වුණු දසුන් ශානකද තෙවැනි අර්ධ ශතකයට ලබා ගැනීමට තවත් ලකුණු 3 ක් තිබියදී දැවී ගියේය. දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය ලබන ඉරිදා බ්‍රිස්ටල්හිදී පැවැත්වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!