“බද්දේගම අනතුරේ – ජනතාවට වහා එන්නත් ලබාදෙනු” යනුවෙන් සෞඛ්‍ය අංශවලට බල කරමින් ජනතා උද්ඝෝෂණයක් අද (01) බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
බද්දේගම අපි සංවිධානය සහ සිවිල් සංවිධාන ගණනාවක් මෙය සංවිධානය කර තිබූ අතර උද්ඝෝෂකයෝ සෞඛ්‍ය නීති ආරක්ෂාකරමින් උද්ඝෝෂණයේ යෙදෙමින් ඉල්ලා සිටියේ බද්දේගම ප්‍රදේශය පුරාම කොරෝනා වසංගතය පැතිරීමේ අවදානමක් පවතින බැවින් හැකි ඉක්මණින් ප්‍රදේශයේ ජනතාවට එන්නත් ලබාදෙන ලෙසයි.
බද්දේගම නගරයේ හා ඉඳිගස්කැටියේ ප්‍රධාන ඇඟළුම් කර්මාන්තශාලා කිහිපයක් ම පිහිටා ඇති අතර බද්දේගම පදිංචි තරුණ තරුණියන් එම කර්මාන්තශාලාවලට අමතරව, ගාල්ල, කොග්ගල සහ ගෝනාපීනුවල කර්මාන්තශාලාවලට ද සේවය සඳහා යති.
එවැනි කර්මාන්තශාලා රැසක කොරෝනා ආසාදිතයන් වාර්තාවන අතර එම කර්මාන්තශාලා මෙතෙක් විවෘතව පවතී. ඉඳිගස්කැටියේ පිහිටි ස්ටාර් ගාමන්ට් නැමැති කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් වාර්තාවීම හේතුවෙන් එය තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දී තිබිය දී සේවක සේවිකාවන් කොටස් වශයෙන් ගෙන්වා කර්මාන්තශාලාව පවත්වාගෙන යන බවට ද ජනතාව චෝදනා කරති.
උද්ඝෝෂකයන් පවසන්නේ මෙම කර්මාන්තශාලාවලට තවදුරටත් සේවකයන් කැඳවන බැවින් එම ස්ථානවලින් කොරෝනා බද්දේගම හා ඒ අවට පැතිරයාමේ අවදානමක් ඇති බවයි.
එබැවින් වහාම බද්දේගම ඇඟළුම් සේවක සේවිකාවන්ට, ව්‍යාපාරික ස්ථානවල සේවක සේවිකාවන්ට, පොදු ප්‍රවාහන සේවා සේවකයන්ට සහ පළමුව වැඩිහිටි ප්‍රජාවට වශයෙන් කඩිනමින් එන්නත් ලබාදෙන ලෙසයි.

