කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 18.8කින් පහළ වැටුණු අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7837ක් ලෙස දැක්විණි.
දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 1.71කි. අද දිනයේ දී ද වැඩි වශයෙන් කොටස් හුවමාරු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 171යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලයන 136යි, LOLC සමාගම රුපියල් මිලියන 129යි ලෙස දැක්විණි.
විදේශ ආයෝජකයන් විසින් අද රුපියල් මිලියන 49ක කොටස් මිල දී ගත් අතර ඒ අනුව හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 33ක්, ප්‍රීමා සමාගම රුපියල් මිලියන 06ක්, ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 02ක් වශයෙන් මූලික විය.
විදේශ ආයෝජකයන්‍ගේ කොටස් විකිණීම් රුපියල් මිලයන 110ක් වූ අතර ඒ අනුව රුපියල් මිලියන 61ක මුදල් ආයෝජන ඔවුන් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි. විදේශ ආයෝජකයන් විසින් මෙලෙස ආයෝජන ඉවත්කරගත් සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 43ක්, එල් බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 14ක්, ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 11ක් ලෙස ප්‍රධාන විය.
ඊයේ (29) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ හුවමාරු වූ LOLC සමාගමේ කොටස්වලින් රුපියල් බිලියනයකට ආසන්න මුදල් ප්‍රමාණයක් එනම් කොටස් මිලියන 2.5ක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අරමුදල විසින් මිල දී ගෙන ඇති අතර රුපියල් 418.00 ක් දක්වා ගනු දෙනු වූ LOLC සමාගමේ කොටස් අද දිනයේ රුපියල් 393.00 දක්වා පහළ බැස තිබිණි.
එමෙන්ම පෙර දිනයේ සඳහන් කළ පරිදි LOLC Development Finance (නන්ද ඉන්වෙස්ට්මන්ට්) සමාගමේ කොටස් මිල අද දිනයේ ද අධික ලෙස ඉහළ ගිය අතර දිනයේ ගනු දෙනු අතරතුර එම සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වැඩිම වටිනාකමක් සහිත සමාගම් අතර දෙවැනි ස්ථානයට පත්වෙමින් එම සමාගමේ සියලු කොටස්වල වටිනාකම රුපියල් බිලියන 183ක් දක්වා වර්ධනය විය. ගනුදෙනු අවසානයේ එම සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළේ වටිනාම සමාගම් අතර හතරවැනි ස්ථානයට පත්ව තිබිණි.
මෙලෙස ද්‍රවශීලීතාව අඩු සමාගම්වල කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළයාම කෙරෙහි ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාව විසින් ද දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවට ආයෝජකයන් කරුණු ඉදිරිපත් කර සිටියි.
කෙසේ වෙතත් සැබෑ වටිනාකම් සහිත සමාගම්වල මුදල් ආයෝජනය කරන ලද ආයෝජකයන් මෙම අසාමාන්‍ය ගනුදෙනු හේතුවෙන් විශාල අලාභයක් සහ දැඩි අපහසුතාවයන්ට ලක්වී ඇත. මෙයට හේතු වී ඇත්තේ ඉතා කෙටි කාලසීමාවක් තුළ වැඩි මුදලක් ඉපයීමේ අරමුණින් බොහෝ ආයෝජකයන් වටිනා සමාගම්වල කොටස් විකුණා නොවටිනා සමාගම්වල අසාමාන්‍ය ලෙස මිල ඉහළ යන කොටස් මිල දී ගැනීමට පෙළඹීමයි.