නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරාට වනිඳු හසරංග හැර අනෙක් කිසිදු ක්‍රීඩකයකුගෙන් සහය නොලැබීම හේතුවෙන් ඊයේ (29) පැවැති ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරඟයෙන් කඩුළු 05 පහසු ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායමට හැකිවිය.
ආරම්භයේ පටන් ආගාධයට ඇද වැටුණු ශ්‍රී ලංකා ඉනිමට යම් අස්වැසිල්ලක් ගෙන ඒමට කුසල් හා වනිඳු සමත්වුව ද 42 වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවේ දී ශ්‍රී ලංකා ඉනිම නිමාවන විට ලබා සිටියේ ලකුණු 185ක් පමණි.
කාලයකට පසු කණ්ඩායමට එක් වූ ජෝ රූට් ගේ ඉනිමෙන් සවිමත් වූ එංගලන්තය පන්දු 91ක් ඉතිරිව තිබිය දී ම ජයග්‍රාහී ලකුණ ලබාගත්තේය. ජෝ රූට් සිය 150 වැනි එක්දින තරඟයේ දී පන්දු 87කින් ලකුණු 79ක් ලබාගත්තේ හතරේ පහර 04ක් පමණක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.
එංගලන්ත කණ්ඩායමට ජොනී බෙයාර්ස්ටෝ සහ ලියම් ලිවිංග්සටන් වේගවත් ආරම්භයක් ලබා දෙමින් පන්දු 29කින් ලකුණු 54ක් ලබාගත්තේ ඉක්මණින්ම තරඟය අවසන් කරන බවට පෙරනිමිති පළ කරමිනි. බෙයාර්ස්ටේා පන්දු 21කින් ලකුණු 43ක් ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 06ක් එල්ලකරමිනි. ලිවිංග්ස්ටන් ඒ අතර පන්දු 12කට මුහුණ දෙමින් ලබාගෙන තිබුණේ කුණු 09ක් පමණි.
දුෂ්මන්ත චමීර ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් යළි තරඟයට අවතීර්ණ වූයේ එංගන්ත පිතිකරුවන් නොසිතූ ලෙස පසු පාදයට ඇද දමමිනි. නමුත් අත්දැකීම්වලින් ප්‍රයෝජන ගත් ජෝ රූට් මොයින් අලි සමඟ එක්ව ඉවසිලිවන්තව කඩා වැටීමේ අවදානමට ලක්වූ ඉනිම යළි ගොඩනැගුවේය. දුෂ්මන්ත චමීර තම තුන්වැනි කඩුල්ල ලෙස මොයින් අලි දවාගත්ත ද ඒ වනවිට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පෙනෙන තෙක් මානයක තිබුණේ නැත.
කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමෙන් ඉවත්කිරීම හේතුවෙන් සහ අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා දෙදෙනා ආබාධයට ලක්වීමත් හේතුවෙන්න කණ්ඩායමේ ක්‍රීඩකයන් 05 දෙනකුගේ දායක්තවය ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවිය. මේ හේතුවෙන් චරිත් අසලංක, ධනංජය ලක්ෂාන් සහ ප්‍රවීන් ජයවික්‍රම තිදෙනාට එක්දින වරම් හිමිවිය.
අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි චරිත් අසලංක ලකුණු නොලබාද දසුන් ශානක ලකුණු 1 කටද දැවී යෑම නිසා ශ්‍රී ලංකා පළමු කඩුලු 3 ලකුණු 46 දී බිඳ වැටිණි. නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරමින් පන්දුවට පහර දුන් කුසල් පෙරේරාට අනගි සහායක් ලබා දුන් වනිඳු හසරංග සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවයක් එක් කරමින් ලකුණු පුවරුව ශක්තිමත් කළ ද වනිඳුගේ දැවීයාමෙන් පසු කිසිදු පිතිකරුවකුගෙගන් කුසල් ජනිත් හට අවශ්‍ය සහය ලැබුණේ නැත.
වනිඳු හසරංග පන්දු 65 කට මුහුණ දෙමින් ලකුණු 54 ක් රැස් කළේය. මෙය ඔහුගේ දෙවැනි අර්ධ ශතකයයි.
වෝක්ස් එවන ලද කෙටි පන්දුවට හසරංග විසින් එල්ල කරන ලද පහර වැරදී යෑම නිසා ස්ක්වෙයාර් ලේග් කළාපය වෙත ගිය උඩ පන්දුව විශිෂ්ඨ ලෙස ලිවිංග්ස්ටන් රැක ගත්තේය. එතෙක් වෙලා හොඳ තත්ත්වයක තිබූ සිටි ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 7 ම ලකුණු 40 ක් තුළදී දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතර දුවද්දී දැවී යෑම් 2 ක්ද සටහන් විය.
08 වැනි කඩුල්ල ලෙස දැවී යන විටත් සිය 15 වැනි එක්දින අර්ධ ශතකය රැස් කරගෙන ශ්‍රී ලංකා නායකයා පන්දු 81 කදී ලකුණු 73 ක් රැස් කරගෙන සිටියේ හතරේ පහර 7 ක්ද ඉනිමට ඇතුළත් කර ගනිමිනි. පන්දු යැවීමේදී වෝක්ස්ට අමතරව ඩේවිඩ් විලී ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගත් අතර තරගයේ වීරයා සම්මානයෙන් ක්‍රිස් වෝක්ස් පිදුම් ලැබීය.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය හෙට (01) ලන්ඩන්හි කෙනිංන්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.