වසර ගණනාවක් පුරා තමන්ට ලබා නොදුන් අයිතිවාසිකම් චීන ජාතිකයන් පිරිසකට ලබා දී ඇතැයි කිලිනොච්චියේ ධීවරයෝ චෝදනා කරති.
ඔවුන් පවසන්නේ කිලිනොච්චියේ පුනරීන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කවුදරමුනෙයි කඩොලාන රක්ෂිතව ආශ්‍රිතව මුහුදු කූඩල්ලන් වගා ව්‍යාපෘති කිරීමට තමන් වසර ගණනාවක් පුරා කරන ලද ඉල්ලීම්වලට අවසර නොදුන්න ද චීන ජාතිකයන් පිරිසක් දැන් එම ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් වගා ව්‍යාපෘති කරන බවයි.
චීන හා ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමක් විසින් මෙම වගා ව්‍යාපෘතිය සිදුකරන බව පැවසුව ද චීන ජාතිකයන්ගේ ක්‍රියාවන් හේතුවෙන් තමන්ට මසුන් අල්ලාගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ද ඔවුහු කියති.
මෙම කඩොලාන රක්ෂිතය ආසන්නයේ පිහිටා ඇති පුවරසන් නම් දූපතේ මසුන් අල්ලා ජීවත්වීම මේ ධීවරයන් සිදුකරන්නේ දශක වසර ගණනාවක සිටය. නමුත් චීන ජාතිකයන් එහි පැමිණීමත් සමඟ එම ප්‍රදේශයට ශ්‍රී ලාංකීය ධීවරයන්ට ඇතුළුවීමට හෝ නොහැකි වී ඇතැයි ධීවරයෝ චෝදනා කරති.
මුහුුදු කූඩැල්ලන් ඇල්ලීම සඳහා චීන ජාතිකයන් විසින් ඉදිකර තිබෙන අට්ටාල හේතුවෙන් රක්ෂිතය ද විනාශ වී යාමේ තර්ජනයක් හටගෙන තිබේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ වසර ගණනාවක් මේ ප්‍රදේශයේ ධීවර කටයුතු කළ තමන් මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට ධීවර දෙපාර්තමේන්තුව ඇතුළු බලධාරීන්ගෙන් අවස්ථා කිහිපයක් ම අවසර ඉල්ලා සිටිය ද ඊට කිසිදු අනුමැතියක් නොලැබුණු බවයි.
මුහුදු කූඩැල්ලන් අපනයනයෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බව ප්‍රකට කරුණකි.
චීන ජාතිකයන්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පුනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු බලධාරීන් දැනුම්වත් කළ බව ද ප්‍රදේශයේ ධීවරයෝ කියති.
පුනරීන් ප්‍රාදේශීය ලේකම් එස්.ක්‍රිශ්නේනදරන් මහතාගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු කියා සිටියේ පුවරසන් දූපතේ මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡාවක් පැවැත්වූ බවයි. නමුත් මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කළ බවට තමන් දැනුම්වත් වී නැතැයි ද හෙතෙම කීවේය. ඒ පිළිබඳ කරුණු සොයා බලන බව ද ප්‍රාදේශීය ලේකම්වරයා කීවේය.
(සිතුම් චතුරංග)