කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දි සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 17.8 කින් පහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7859 ක් ලෙස වාර්තා විය.
දිනයේ සම්පූර්ණ වෙෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 2.3කි.
දිනයේ වැඩිපුර ගනුදෙනු වූ සමාගම් අතර LOLC සමාගම රුපියල් මිලියන 1063ක්, හේලීස් සමාගම රුපියල් මිලියන 109ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 96ක් ලෙස කැපී පෙණිනි.
විදේශ ආයෝජකයන් විසින් අද දිනයේ රුපියල් මිලියන 16ක කොටස් මිල දී ගත් අතර වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලයන 3.8ක්, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 3.2ක්, TJL සමාගම රුපියල් මිලියන 1.8ක් ලෙස ද ඒ අතර විය. විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 28ක කොටස් විකුණා දමනු ලැබීය. එයින් වැලිබල් පවර් සමාගම රුපියල් මිලියන 4.8ක්, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 3.6ක්, සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 03ක් වශයෙන් දක්නට ලැබිණි.
මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳ පොළේ මහජනතාව අතර වැඩිපුර කොටස් නොමැති (ද්‍රවශීලතාව අඩු) සමාගම්වල කොටස් දිනය තුළ සම්පූර්ණයෙන් විකිණිය හැකි සීමාව දක්වා ගනුදෙනුකරුවන් විසින් මිල දී ගන්නා අතර එමගින් එම සමාගම්වල කොටස් මිල අධික සහ අසාමාන්‍ය ලෙස ඉහළට ගොස් තිබේ.
මේ හේතුවෙන් සැබෑ වටිනාකම් සහිත සමාගම්වල කොටස් මිල දී ගැනීමට ආයෝජකයන් පසුබට වී ඇති අතර අසාමාන්‍ය වර්ධනයක් ඇති සමාගම්වල කොටස් මිල දී ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ. දැනට සතියක පමණ කාලයක සිට LOLC Development Finance (නන්ද ඉන්වෙස්ට්මන්ට්) සමාගමේ කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර මෙම සියලුම දිනයන්හි දී එම සමාගමේ කොටස් විකිණීම් ලැයිස්තුවෙහි කොටස් ගැනුම් කරුවන් පමණක් කොටස් මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අතර කෙටි කාලසීමාවක් තුළ විකුණුම්කරුවන්ගේ කොටස් සියල්ල විකුණා අවසන්වීම අසාමාන්‍ය තත්ත්වයක් ලෙස දැක්විය හැකිය.
කොළ කොටස් වෙළඳ පොළෙහි වටිනාම සමාගම් අතර හතරවැනි ස්ථානයට පත්ව සිටි LOLC Development Finance සමාගමේ සියලු කොටස් වටිනාකම ඊයේ දිනයේ දී රුපියල් බිලියන 117ක් වූ අතර අද දිනයේ ඒ වටිනාකම රුපියල් බිලියන 147ක් වර්ධනය වී තිබිණි. මෙය කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ එක් සමාගමක් එක් දිනයක දී රුපියල් බිලියන 30කින් වටිනාකම වැඩි වූ අවස්ථාව ලෙස දැකිය හැකියි.
(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)