බද්දේගම ඉඳිගස්කැටියේ ස්ටාර් ගාමන්ට් හි සේවක සේවිකාවන් 43 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් එම කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම ආයතනයේ විධායක ශ්‍රේණියේ 03 දෙනකු ඇතුළු පිරිසක් පසුගිය දින 04ක කාලයේ දී මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත්තේ පුද්ගලික රසායනාගාරයකින් කර්මාන්තශාලාවට පැමිණ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරපීක්ෂණවලින් බව ද සෞඛ්‍ය අංශ පවසයි.
බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ එම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් අනතුරුව මේ දක්වා ආසාදිතයන් 43 දෙනකු පිළිබඳ තමන් වෙත කරුණු වාර්තා කර ඇති බවයි.
කර්මාන්තශාලාවේ සේවක සේවිකාන් රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් මෙලෙස පුද්ගලික අංශයෙන් පරීක්ෂණ සිදුකර තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ සේවක සේවිකාවන් 260 දෙනකු පරීක්ෂා කිරීමෙන් මෙම 43 දෙනා වාර්තා වී ඇති බවයි. එය 16% ප්‍රතිශතයකි.
ආසාදිත බව හඳුනාගත් අයගේ ආශ්‍රිතයන් ද මේ වනවිට නිවාසතුළ ම නිරෝධායනයට යොමුකර ඇත.
ආසාදිතයන් විශාල පිරිසක් මෙම කර්මාන්තශාලාවෙන් වාර්තා වීම හේතුවෙන් එය තාවකාලිකව වසා දමන්න යැයි සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබිය දී ද ඇතැම් අවස්ථාවල දී සේවකයන් කර්මාන්තශාලාවට ගෙන්වන බවට ලැබුණු තොරතුරක් අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් එහි ගොස් ඒ පිළිබඳ පරීක්ෂා කර බලා තිබේ.
“අපිට තොරතුරු ලැබුණා කර්මාන්තශාලාව වසා දමන්න කියා උපදෙස් දී තිබිය දී සේවක සේවිකාවන් කැඳවා තිබෙනවා කියා. අපි එහි ගොස් පරීක්ෂා කර බැලුවා. එවැන්නක් සිදුව නැහැ. සේවකයන් ගෙන්වා නැහැ. නමුත් විධායක ශ්‍රේණියේ නිලධාරීන් කිහිප දෙනෙක් එහි රැඳී සිටියා. අපි දිගටම මේ ගැන පරීක්ෂා කරනවා.” යැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයකු කීවේය.
අද (29) දිනයේ දී ද මෙම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් සඳහා ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබිණි.