පෘථිවියේ “ස්ඵන්දනයක්” සිදුවන බව පර්යේෂකයන් පිරිසක් විසින් අනාවරණය කර තිබේ. මෙය සිදුවන්නේ කවර හේතුවකින් ද යන්න මෙතෙක් අනාවරණය කරගත නොහැකි වුව ද එය නිශ්චිත වශයෙන් ම වසර මිලින 27.5කට වරක් සිදුවන බව එම පර්යේෂකයන් විසින් Geoscience Frontiers සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබේ.
මෙතෙක් ලෝකයේ භූ විද්‍යාඥයන් විශ්වාස කළේ වරින් වර පෘථිවියේ සිදුවන භූ විද්‍යාත්මක වෙනස්කම් (ගිනිකඳු පිපිරීම්, භූමිකම්පා වැනි) අහඹු ලෙස සිදුවන බවයි. නමුත් මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ මෙහි යම් සංඛ්‍යානමය රටාවක් සහ පොදු චක්‍රයක් ඇති බවයි. මෙය අහඹු ලෙස සිදු නොවන බව ද මෙම පර්යේෂකයෝ අනාවරණය කර තිබේ.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ භූ විද්‍යා මහාචාර්යවරයකු වන මයිකල් රම්පිනෝ මෙම අධ්‍යනය වාර්තාවේ ප්‍රධාන කතුරයා ලෙස කටයුතු කර ඇත. ඔහුට අමතතරව නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ විද්‍යා දත්ත ආයතනයේ යුහොං ෂු සහ කානගී විද්‍යා ආයතනයේ කෙන් කැල්ඩෙයිරා ද සම කර්තෘත්වය දරයි.
එම පර්යේෂණ පත්‍රිකාව සකසා ඇත්තේ වසර 50ක් පුරා සිදුකරන ද දීර්ඝ අධ්‍යයනයකින් අනතුරුවය.
ඔවුන් එහි දී දළ වශයෙන් වසර මිලියන 26-36 දක්වා කාල පරාසයක ගිනිකඳු ක්‍රියාකාරකම් සහ ගොඩබිම සහ මුහුදේ ඇතිවී තිබෙන මහා විනාශයන් ඇතුළු ප්‍රධාන භූ විද්‍යාත්මක සිදුවීම් චක්‍රයක් දක්නට ලැබෙන බව තහවුරු කර තිබේ.
අධ්‍යයනයේ මුල් කාලයේ දී වඩාත් පැරණි භූ විද්‍යාත්මක සිදුවීම්වල සාධක අධ්‍යයනය කිරීමේ බාධා ඇතිවුව ද පසු ව කාල නිර්ණය ක්‍රමවේදයන්, සමස්ථානික අධ්‍යයනයන් දියුණුවීම හේතුවෙන් එම පර්යේෂණ වඩාත් විධිමත්ව හා සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බව මහාචාර්ය රම්පිනෝ පවසා තිබේ.
“මේ අධ්‍යයනයේ දී අදින් වසර 50කට පෙර ලබාගත් දත්ත පවා අපි නැවත යාවත්කාලීන කළා. අපේ සමස්ත අධ්‍යයනයට අවුරුදු මිලියන 260ක් එනම් වසර ලක්ෂ 2600ක කාලයක් තුළ පෘථිවියේ සිදු වූ ප්‍රධාන භූ විද්‍යාත්මක වෙනස්කම් ඇතුළත් වුණා. මේ කරුණු සම්පාදනයෙන් තමයි අපි මේ විශ්ලේෂණය සිදු කළේ.”
ඔවුන් එහි දී ප්‍රධාන භූ විද්‍යාත්මක සිදුවීම් 89ක් විශ්ලේෂණය කර තිබේ. මේ සිදුවීම් අතර සමුද්‍රයේ සහ ගොඩබිම ජීවී වඳවී යාම්, ගංවතුර, ගිනිකඳු පිපිරීම්, ලාවා ගලා යාම්, සාගර ඔක්සිජන් ක්ෂය වීම්, මුහුදු මට්ටම ඉහළ යාම හා පහළ යාම, භූ තැටිවල සිදුව ඇති වෙනස්කම් යන කරුණු රැසක් අධ්‍යයනය කර තිබේ.
“අපිට මේ භූ විද්‍යාත්මක සිදුවීම් පසුගිය වසර මිලියන 260 දී ප්‍රධාන කාල 10කට ගොනුවන ආකාරය දක්නට ලැබුණා. එය දළ වශයෙන් වසර මිලින 27.5ක් හෙවත් වසර ලක්ෂ 275ක කාල පරතරයක් ඇතිව සිදුවන බව පෙනී ගියා. එ්වා අපි කාණ්ඩගත කර තිබෙනවා. මෙය සැබැවින්ම යම් සංඛ්‍යානමය තහවරුවක් තිබෙන බවත් පැහැදිලියි. ඒ නිසා අපි මෙය පෘථිවියේ ස්ඵන්දනයක් ලෙස හඳුන්වනවා. අවසන් ස්ඵන්දනය සිදු වී තිබෙන්නේ අදින් වසර මිලියන 07කට හෙවත් වසර ලක්ෂ 70කට පෙර. ඒ නිසා මීළඟ ස්ඵන්දනය සිදුවන්නේ තවත් වසර මිලියන 20-21ත් අතර කාලයක් ගත වෙනවා.”
පර්යේෂකයන් පවසන්නේ මේ පෘථිවි ස්ඵන්දනය පෘථිවියේ අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වයේ සිදුවන යම් චක්‍රාකාර වෙනසක් හේතුවෙන් විය හැකි බවයි. මෙය පෘථිවියේ දේශගුණයේ ගතිකත්වය වෙනස්වන භූ භෞතික ක්‍රියාලියකි. එමෙන්ම පෘථිවි කක්ෂයේ ද මේ චක්‍රයට සමාන වෙනස් කම් ඇති බව ද පර්යේෂකයෝ කියති.
මෙම චක්‍රීය ස්ඵන්දනයේ මූලාරම්භය කවරක් වුව ද ඔවුන්ගේ සොයාගැනීම විනාශකාරී භූ විද්‍යාත්මක වාර්තාවක් සඳහා සහාය වෙයි. එමෙන් ම එය මෙතෙක් භූ විද්‍යාඥයන් එල්බගෙන සිටි මතයන්ගෙන් බැහැර වූ මතවාදයක් බවට පත්ව ඇත.
Journal Reference:
- Michael R. Rampino, Ken Caldeira, Yuhong Zhu. A pulse of the Earth: A 27.5-Myr underlying cycle in coordinated geological events over the last 260 Myr. Geoscience Frontiers, 2021; 12 (6): 101245 DOI: 10.1016/j.gsf.2021.101245