ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරාජයන්ට හේතුව ක්‍රීඩකයන්ට හික්මීමක් හා විනයක් නොමැතිවීම යැයි හිටපු නායක අර්ජුන රණතුංග පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඉන්දියාවේ DD නාලිකාවේ Sports 360 වැඩසටහන සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
අර්ජුන රණතුංග පවසන්නේ මේ තත්ත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වගකිවයුතු බවයි. ක්‍රීඩකයන්ගේ දක්ෂතා සැළකූ විට ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බවත් නමුත් ඔවුන්ගේ කැපවීම ප්‍රමාණවත් නැති බවත් ක්‍රීඩකයන්ගේ විනය සහ හික්මීම ඇතිකළහොත් ජයග්‍රහණය වැඩි ඈතක නොවන බවත් හිටපු නායකයා පෙන්වා දෙයි.
“මේ ක්‍රීඩකයන් ඉතාමත් දක්ෂයි. ඔවුන්ගේ හික්මවීම සහ විනය සකස් කිරීම ක්‍රිකට් පරිපාලනයේ සහ කළමනාකාරීත්වයේ කාර්යයක්. මේ දේවල් නිවැරදි කරගැනීමට මාස හත අටක් ගත වේවි. ඉන් පසු අපිට නැවත ඉහළම ක්‍රිකට් කණ්ඩායමක් බවට පත්විය හැකියි.” යනුවෙන් අර්ජුන රණතුංග එහි දී කිවේය.