ශ්‍රී ලංකාව සමඟ පැවැති විස්සයි 20 තරඟාවලිය තවත් තරඟයක් ඉතිරිව තිබිය දී ම ජයගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (24) සමත්විය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට ම ලැබූ 05 වැනි විස්සයි 20 තරඟාවලි පරාජයයි.
මෙම තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වතර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 05ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
පළමු තරඟයේ දී හා සමානවම ඉතාමත් අලස හා දුර්වල ලෙස පිති හැසිරවූ ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන්වන විට කඩුළු 07ක් දැවී රැස්කරගත්තේ ලකුණු 111ක් පමණි. එක් පන්දුවාරයක දී ලකුණු 06ක දළ වේගයක් හෝ තබා ගැනීමට ඔවුන් අසමත්විය.
විස්සයි 20 කණ්ඩායම් වර්ගීකරණයේ දී ලොව හොඳම කණ්ඩායම බවට පත්ව සිටින එංගලන්ත කණ්ඩායමට ලකුණු 112ක පහසු ඉලක්කය හඹා යාමේ දී වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඉලක්කය පන්දුවාර 18ක දී ලකුණු 108ක් ලෙස සංශෝධනය කෙරිණි. එම ඉලක්කය පන්දුවාර 16.1 ක දී ඔවුන් කඩුළු 05ක් දැවී සම්පූර්ණ කළේ තවත් පන්දු 11ක් ඉතිරිව තිබිය දී ය.
පිතිකරුවන් විසින් ලබාදුන් ලකුණු ප්‍රමාණය මෙවැනි තරඟයක දී කිසිසේත්ම ආරක්ෂාකාරී ලකුණු ප්‍රමාණයක් නොවූව ද තම වගකීම ඉටුකිරිමේ දැඩි සටනක නිරත වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රතිවාදීන්ගේ පළමු කඩුළු 04ම ලකුණු 37ක දී දවා ගැනීමට සමත්වූයේ යම් බලාපොරොත්තුවක් එක්කරමිනි. එහෙත් 05 වැනි කඩුල්ල සඳහා පිටියේ එකතු වූ ලියම් ලිවින්ග්ස්ටන් සහ සෑම් බිලිංග්ස් පන්දු 48ක් පුරා ලකුණු 54ක සම්බන්ධතාවක් පවත්වමින් තම කණ්ඩායම වැටී තිබූ අසීරු තත්ත්වයෙන් ගොඩගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ඈත් කරමිනි.
අලංකාර හයේ පහරකින් තරඟය නිමා කළ ලිවින්ග්ස්ටන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 29ක් පමණක් වුව ද ඔහු අසීරු අවස්ථාවක දී ඉනිම ගොඩනගමනි දැක්වූ දක්ෂතාවය නිසාම තරඟයේ වීරයා සම්මානය ද දිනාගත්තේය.
ඊයේ තරඟයේ දී ද කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ද පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය ඉනිම පුරාම දක්නට ලැබිණි. අවිශ්ක ප්‍රනාන්දු පන්දු යවන්නා පන්දුව වෙත පැමිණෙන ආකාරය හොඳින්ම දැක දැකත් නොතිබූ ලකුණක් කරා යාමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵලය වූයේ දනුෂ්ක ගුණතිලක අවාසනාවන්ත ලෙස දුවද්දි දැවීයාමයි. ඉන් පන්දු කිහිපයකට පසු අවිශ්ක ද ක්‍රීඩාගාරයට යාමෙන් ආරම්භයේ දී ම ඉනිම බිඳ වැටිණි.
නායක හා උපනායක කුසල් දෙපළ ඉනිම ගොඩනගමින් පන්දු 53ක දි ලකුණු 50ක් රැස්කළේ තමන් දැවීගිය ද පසුපෙළ පිතිකරුවන්ට වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවෙන් විය යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු හතරේ පහට එල්ල කිරීමට පන්දු 46ක් බලා සිටීමට සිදුවීමෙන් ම ඔවුන්ට තිබූ පීඩනය වටහාගත හැකිය. එම පහර එල්ල කළ කුසල් මෙන්ඩිස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 39ක් රැස්කළේය. ඉන්පසු පිටියට පිවිසි කිසිවෙකුට සාර්ථකවීමට අවස්ථාවක් එංගලන්ත පන්දුයවන්නන් දුන්නේ නැත.
ශ්‍රී ලංකා ඉනිම පුරාම වාර්තා වූයේ හයේ පහර 02ක් හා හතරේ පහර 04ක් පමණි. ඉන් එක් හයේ පහරක් සහ හතරේ පහර 03ක් කුසල් මෙන්ඩිස් විසින් එල්ල කළ අතර අනෙක් හතරේ පහර සහ හයේ පහර එල්ල කළෙල් ඉසුරු උදාන විසිනි. වෙනත් කිසිම පිතිකරුවකුට හතරෙ සහ හයේ පහර එල්ලකිරීමට නොහැකි විය.