විෂබීජයක් ශරීරගතවීම යන්න අද අරුමයක් නොවේ. මරණයක් සිදු වූ විට බොහෝ විට කියැවෙන්නේ ඒ මරණයට හේතුව විෂබීජයක් ශරීරගත වීම යන්නයි. මේ නිසාම බොහෝ දෙනකු සිතන්නේ යම් රෝගයක් ඇතිවීමට හෝ මරණයක් සිදුවීමට නිශ්චිත හේතුවක් සොයාගත නොහැකි වූ විට සෞඛ්‍ය අංශ විසින් එලෙස පවසන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලෝකයේ සෑම තත්ත්පර 2.8ට වරක් එක් පුද්ගලයකු විෂබීජ ශරීරගත වීම හේතුවෙන් මියයයි. ඒ අනුව විෂබීජ ශරීරගතවීමෙන් වාර්ෂිකව ලොව පුරා පුද්ගලයෝ ලක්ෂ 110ක් මියයති. විෂබීජ සිරුරට ඇතුළුවීම හේතුවෙන් වාර්ෂිකව පීඩාවට පත්වන පිරිස ලෝකය පුරා ලක්ෂ 470ත් ලක්ෂ 500ත් අතර ප්‍රමාණයකි.
වෛද්‍යවරුන් පවසන්නේ මිනිස් සිරුරට විෂබීජයක් ඇතුළු වූ පමණින් පුද්ගලයකු මරණයට පත් නොවන බවයි. ආගන්තුක විෂබීජයක් සිරුරට ඇතුළු වූ විට මිනිස් සිරුර ඊට එරෙහිව ප්‍රතිචාර රැසක් දක්වයි. නමුත් යම් අවස්ථාවක දී මේ විෂබීජය හේතුවෙන් පුද්ගලයාගේ පටකවලට හෝ අවයවලට හානි සිදුවෙයි. වෛද්‍යවිද්‍යාවේ දී එවැනි අවස්ථාවක් හඳුන්වන්නේ සෙප්සිස් තත්ත්වයක් යනුවෙනි. එලෙස පටක හා අවයවවලට හානි සිදුවන හෙවත් සෙප්සිස් තත්ත්වයට යම් පුද්ගලයකු පත්වුවහොත් එම පුද්ගලයාගේ ඉන්ද්‍රියයන් දුර්වලවීම, අකර්මන්‍යවීම කම්පනය හේතුවෙන් මරණය සිදුවේ. පසුගිය දා ලෝකය පුරා පැතිරගිය කොවිඩ් – 19 වයිරසය හේතුවෙන් පුද්ගලයන් මියයන්නේ ද වයිරසය සිරුරට ඇතුළුවීමෙන් පසු හටගන්නා සෙප්සිස් තත්ත්වය හේතුවෙනි. මෙවැනි තත්ත්වයකට ගොදුරුවන පුද්ගලකු වෛද්‍ය ප්‍රතිකාර හේතුවෙන් දිවි ගලවාගත්ත ද මුළු ජීවිත කාලය පුරාම සෙප්සිස් තත්ත්වය හේතුවෙන් ඇතිවූ අතුරු ආබාධවලින් පීඩා විදිනබව වෛද්‍ය මතයයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ සෙප්සිස් යනු ලෝකයේ ඇති බරපතලම සෞඛ්‍ය අර්බුදයක් බවයි. සෑම වසරකම ලෝකයේ සිදුවන මරණවලින් 20%ක් සිදුවන්නේ සෙප්සිස් තත්ත්වය හේතුවෙන්. ඇතැම් රටවල මේ තත්ත්වය 15% – 50% අතර අගයකට වෙනස්වන අවස්ථා ද දක්නට ලැබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව සෙප්සිස් රෝගීන්ගෙන් සියයට 85ක් සහ සෙප්සිස් ආශ්‍රිතව සිදුවන මරණවලින් සියයට 84.8ක් වාර්තාවන්නේ අඩු ආදායම් ලබන රටවල සහ මැද ආදායම් සහිත රටවලිනි. විශේෂයෙන් ම මෙම තත්ත්වය අප්‍රිකාවේ සහ ගිනිකොණ දිග ආසියාවේ භයානක මට්ටමක පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත්කර ඇති දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පුද්ලයන් 100,000ක් සැළකූ විට ඉන් පුද්ගලයන් 440 – 540ත් අතර පිරිසක් සෙප්සිස් තත්ත්වයට ගොදුරුවෙයි. සියයට 12 – 14 අතර පිරිසක් සෙප්සිස් තත්ත්වයෙන් මියයති.
2017 වර්ෂයේ දී ලෝකයේ පුද්ලයන් ලක්ෂ 98ක් සෙප්සිස් තත්ත්වයට ගොදුරු වූ අතර ඉන් ලක්ෂ 18ක් මරණයට පත්වූහ.
මේ අනුව බලන විට මේ ලිපිය ලියන මම ද ලිපිය කියවන ඔබ ද ඔබේත් මගේත් සමීපතමයකු ද ඕනෑම මොහොතක විෂබීජයක් ශරීරගතවූවකු වී, සෙප්සිස් තත්ත්වයට පත්වන්නට ඉඩ තිබේ. එය අරුමයක් නොවේ. ලෝකයේ විෂබීජ ශරීරගතවන පුද්ගලයන් පිළිබඳ ඇති තොරතුරු අනුව එවැන්නක් ඕනෑම මොහොතක සිදුවීමට ඉඩ තිබේ. එසේ නම් අප ඒ ගැන දැනුම්වත් විය යුතුය.
සෙප්සිස් තත්ත්වයට පුද්ගලයකු පත්වීමට හේතුවන විෂබීජ බොහොමයක් තිබේ. මේ අතරින් බහුලම වර්ගය ලෙස හඳුනාගෙන ඇත්තේ බැක්ටීරියා විශේෂයි. ඊට අමතරව දිලීර, වෛරස් සහ විවිධ පරපෝෂිතයන් සිරුරට ඇතුළු වූ විට සෙප්සිස් තත්ත්වය ඇතිවිය හැකි බව වෛද්‍යවරු කියති.
කොවිඩ් – 19, සාර්ස්, සෘතුමය වශයෙන් හටගන්නා ඉන්ෆ්ලුවෙන්සා ඇතිකරන වෛරස්, ඉබෝලා, කහ උණ, ඩෙංගු වෛරසය, කුරුළු උණ ඇතිකරන වෛරස් දැනට ලෝකයේ විශාල පිරිසකට සෙප්සිස් තත්ත්වය ඇතිකරන ලද විෂබීජ අතර ප්‍රමුඛත්වයක් ගනී. මීට අමතරව ඕනෑම වෙනත් ඕනෑම ක්ෂුද්‍ර ජීවී විශේෂයක් සිරුරට ඇතුළු වී ඕනෑම පුද්ගලයකු සෙප්සිස් තත්ත්වයට පත්කිරීමේ අවදානමක් තිබේ.
නමුත් මේ පිළිබඳ මෙරට සෞඛ්‍ය අංශවල මෙතෙක් වැඩි උනන්දුවක් නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකයේ සංඛ්‍යාලේඛන පිළිබද කරුණු ඉදිරිපත් කළ ද ශ්‍රී ලංකාවේ දී විෂබීජ ශරීරගතවීමෙන් මිය යන පුද්ගලයන් හෝ පීඩාවට පත්වන පුද්ගලයන් පිළිබඳ මෙතෙක් නිශ්චිත සංඛ්‍යාලේඛන හෝ නොමැත.
ලෝකය පුරාම වැඩිම මරණ සංඛ්‍යාවකට හේතුවන සෙප්සිස් තත්ත්වය පිළිබඳ මෙරට සෞඛ්‍ය අංශවල පවා අවදානයක් නොමැති බැවින් 2020 වර්ෂයේ සෙප්සිස් දිනය සැමරූ සැප්තැම්බර් 13 වැනි දිනට පසු සැප්තැම්බර් 14 දින සිට 20 වැනි දිනය දක්වා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ඒ පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකාවේ නිර්වින්දන හා දැඩිසත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබිණි. ඒ අනුව පසුගිය සතිය පුරා සෙප්සිස් පිළිබඳ විශේෂ දේශන මාලාවක් රජයේ රෝහල්වල කාර්ය මණ්ඩල පවා දැනුම්වත් කරමින් පැවැත්විණි.
ඕනෑම වයස් කාණ්ඩයක පසුවන නිරෝගී පුද්ගලයකු වුව ද විෂබීජ ශරීරගතවීමේ තත්ත්වයකට ගොදුරු විය හැකිය. වෛද්‍යවරු පවසන්නේ එය බොහෝ විට සිදුවන්නේ ශ්වසන පද්ධතිය, ආමාශය හා අන්ත්‍රය ඇතුළු ආහාර මාර්ග පද්ධතියෙන්, මුත්‍රා ආශ්‍රිතව, තුවාල හෝ සම වැනි ස්ථාවලින් බවයි.
විෂබීජයක් ශරීරගත වූ විට එහි වැඩිම අවදානමක් පවතින්නේ නැතිනම් සෙප්සිස් තත්ත්වය ඇතිවමේ වැඩිම අවදානමක් පවතින්නේ වයස අවුරුද්දකට වඩා අඩු දරුවන්, අවුරුදු 60ට වඩා වැඩි වැඩිහිටියන්, වකුගඩු ආබාධ, පෙනහළු ආබාධ ඇති රෝගීන්, හෘදයේ සංකූලතා ඇති පුද්ලයන්, ප්ලීහාව ඉවත් කරන ලද පුද්ගලයන්, අක්මාවේ දුර්වලතා ඇති පුද්ලයන් සහ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වූ ඒඩ්ස් රෝගීන් සහ දියවැඩියාව සහිත පුද්ලයන් බව සෞඛ්‍ය අංශ පවසයි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ද විෂබීජ ශරීරගවී සෙප්සීස් තත්ත්වයට ගොදුරු වී මියයන පුද්ගලයන් හා දින ගණන් රෝහල්වල ප්‍රතිකාර ලැබ පිටව යන පිරිස් කොතරම් සිටිය ද එවැනි තත්ත්වයකට තම සමීපතමයකු ගොදුරුවී ඇත්දැයි දැනගැනීමට තරම් මෙරට සමාජය දැනුම්වත් වී නොතිබීම අභාග්‍යයකි.
වෛද්‍යවරු පවසන්නේ යම් පුද්ගලයකු වෙනදා මෙන් සාමාන්‍ය පරිදි කතා බහ නොකර අසාමාන්‍ය හෝ ව්‍යාකූළ කතාබහක නිරතවන්නේ නම්, අධික වෙව්ලීම් හෝ මාංශ පේශිවල වේදනාවක් දක්වන්නේ නම්, දිනය පුරාම මුත්‍රා නොකර සිටින්නේ නම් ඔහු හෝ ඇය සෙප්සිස් තත්ත්වයට ගොදුරු වී සිටින්නකු විය හැකි බවයි.
එමෙන් ම අධික උණ, දැඩිව හෝ අක්‍රමවත් ලෙස හුස්ම ගැනීම, සමේ ස්වභාවය වෙනස්වීම, අධික නිදිමත, සිහිමද ගතියක් පෙන්නුම් කිරීම, සෙප්සිස් තත්ත්වයට පත්වන රෝගීන්ගේ දක්නට ලැබෙන ලක්ෂණ අතර වෙයි. මෙවැනි ලක්ෂණ සමීපතමයන්ට ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. යම් අයකුගේ එවැනි වෙනසක් ඇත්නම් කඩිනමින් රෝහලක් වෙත රැගෙන යා යුතුය.
සෙප්සිස් තත්ත්වයක් යනු මාරාන්තික වුව ද එය වළක්වාගත හැකි තත්ත්වයකි. ලෝකය පුරා වැඩිම පිරිසක් මරණයට ගොදුරුවන නමුත් වළක්වාගත හැකි අංක එකේ තත්ත්වය ලෙස හඳුන්වන්නේ සෙප්සිස් තත්ත්වයයි. එසේ නම් සෙප්සිස් තත්ත්වයෙන් යමකු මිය යන්නේ නම් ඒ වළක්වාගත හැකි මරණයකි. මේ සඳහා කළ යුතු පළමු කාර්යය වන්නේ හැකි තරම් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීම හා විෂබීජ ශරීරගත වීමෙන් හැකිතාක් වැළකී සිටීමයි.
මේ සඳහා ඔබ ජීවත්වන පරිසරය නිරන්තරව ම පිරිසිදුව තබා ගැනීම ඉතාමත් වැදගත් වේ. එමෙන් ම නිතරම පිරිසිදුව සිටීමත් පිරිසිදු ජලය භාවිතා කිරීමත් අත් සෝදා පිරිසිදු කරගනිමින් සනීපාරක්ෂාව තහවුරු කරගැනීමත් ඔබට විෂබීජවලින් වැළකී සෙප්සිස් තත්ත්වයට පත්නොවී සිටීමට මහෝපකාරී වෙයි.
ආරක්ෂිත දරු ප්‍රසූතියත් නිදන්ගත රෝග ඇත්නම් ඒවා උත්සන්න නොවී හැකිතාක් දුරට පාලනය කරගෙන සිටීම ද මෙවැනි අවදානමකට පත් නොවීමට හේතුවක් වෙයි.
වෛද්‍යවරු පවසන්නේ සෙප්සිස් යනු නිවැරදි ලෙස දැනුම්වත් වුවහොත් පහසුවෙන් වළක්වාගත හැකි රෝගී තත්ත්වයක් බවයි. නිහඬ මාරයකු වන විෂබීජ ඔබේ ශරීරයට ඇතුළුවීම වළක්වාගැනීම ඔබේම වගකීමකි.
ඇඹිලිපිටිය රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හරිනි ජාගොඩ මෙනවිය සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලදී.