වෛද්‍යවරුන්ගේ හිතුමතයට කරාපිටිය ශික්ෂණ රෝහලේ නිල නිවාසයකට අනීතිකව රැගෙන ගිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තවදුරටත් සේවය කළ නොහැකි බැවින් ඊට විසඳුමක් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා එහි සේවකයෝ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
ඔවුන් පවසන්නේ දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ලෙස භාවිතා කරන නිල නිවාසයට එවැනි කාර්යයකට කිසිසේත්ම නුසුදුසු බවයි. එවැනි ස්ථානයක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් වත්වාගෙන යාමෙන් ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ ම දරුවන් ඇතුළු සියලු දෙනාම අවදානමකට ලක්කරන බව ද ඔවුහු පෙන්වා දෙති.
ගාල්ල මහ නගර සභා ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබූ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෛද්‍යවරුන්ගේ පුද්ගලික වුවමනාවන් මත නීති විරෝධී ලෙස පිටතට රැගෙන යන ලදී.
ඉන් පසු අනෙකුත් සෞඛ්‍ය සේවකයන් ද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ 2021-05-15 දිනැති ලිපියක් මගින් කරාපිටියේ නිල නිවාසයේ ස්ථාපිත කරන ලද කාර්යාලයට අනුයුක්ත කර තිබේ.
කරාපිටිය රෝහලේ නිල නිවාසයක්, වෛද්‍යවරුන් විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් ලෙස යොදාගනිමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම අනුයුක්තකිරීම සිදුකර තිබේ.
එම ස්ථානයේ වෛද්‍යවරු 04ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 05ක්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 17ක්, පරිගණක ක්‍රියාකරු සහ ලිපිකරු වශයෙන් 04 දෙනකු, අභ්‍යාසලාභී උපාධිධාරීන් 02ක්, රැකියා දසලක්ෂය වැඩසටහන යටතේ පුහුණුවන්න් 14 දෙනකු වශයෙන් 47 දෙනකුගෙන් සමන්විත පිරිසක් සේවය කරති.
නමුත් මෙම නිල නිවාසය එක් පවුලක් සඳහා සැකසූවක් බැවින් මෙතරම් පිරිසක් සහිත කාර්යාලයක් ලෙස පවත්වාගෙන යාමට එය කිසිසේත්ම නුසුදුසු බව ද ඔවුන් එම ලිපිය මගින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබේ.
කොරෝනා වසංගතය හේතුවෙන් දුරස්ථභාවය පවත්වාගෙන සේවය කරන ලෙස දන්වා ඇතත් එලෙස දුරස්ථභාවය පවත්වාගෙන යාමට එහි ඉඩ ප්‍රමාණවත් නැත. වර්ෂාව පවතින අවස්ථාන්හි දී මේ ගොඩනැගිල්ලේ වහළයෙන් ඇතුළට ජලය වෑස්සෙන බැවින් කාර්ය මණ්ඩලයට නොතෙමී සිටීමට ද විශාල සටනක් කිරීමට සිදුව තිබේ.
එමෙන් ම කාර්යාලයට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය හා උපකරණ කිසිවක් මෙතෙක් එම ස්ථානයට ලැබී නැත. නිලධාරීන් විසින් දෛනිකව නඩත්තු කළ යුතු ලේඛන හා පොත්පත් රාශියක් ඇතත් එම ලේඛන කිසිවක් මෙතෙක් කාර්ය මණ්ඩලයට සපයා නොමැති බැවින් ඔවුන් දැඩි ගැටලුවක්ට මුහුණ දී සිටියි.
සෞඛ්‍ය සේවකයන් චෝදනා කරන්නේ තම බඩුබාහිරාදිය තබාගැනීමට පමණක් නොව වාඩිවීමට ප්‍රමාණවත් පුටු සංඛ්‍යාවක් ද මෙහි නොමැති බවයි.
මෙම ස්ථානයේ වරින් වර පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් එම සාම්පල ලබාගන්නා කාර්ය මණ්ඩලයේ අයට පිරිසිදු වීමට හෝ තම ඇඳුම් මාරුකරගැනීමට හෝ ස්ථානයක් නොමැතිවීම තවත් ගැටලුවකි. එමෙන්ම දෛනිකව සායන සඳහා දරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙන මේ කුඩා නිල නිවාසයේ ම පසෙක පීසීආර් පරීක්ෂණ සිදුකිරීම මේ ස්ථානය කොරෝනා බෝකරන මධ්‍යස්ථානයක් බවට පත්වීමට ඉඩ ඇතැයි එහි සේවකයෝ ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියේ දක්වා තිබේ.
මීට ඉහත දී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් කොට්ඨාස මට්ටමින් සායන පවත්වමින් සියලු කටයුතු සිදුකර ද මේ වනවිට ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ සියලුම මව්වරුන් හා දරුවන් මෙම ස්ථානයට ගෙනවිත් අදාල සායනික කටයුතු සිදුකිරීම හේතුවෙන් ගාල්ලේ ජනතාවට දැඩි අසීරුතාවකට පත්වීමට සිදුව ඇතැයි ද ඔවුහු පවසති.
මෙම කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ කාමර තුනක් පවතින අතර කොතරම් තදබදයක් තිබුණ ද වෛද්‍යවරු සඳහා එක් කාමරයක් වෙන්කර තිබේ. අනෙක් කාමර දෙක ම පීසීආර් සඳහා අවශ්‍යකරනු ලබන උපකරණ, එන්නත් සහ වෙනත් අවශ්‍ය බඩුබාහිරාදිය ගඩබා කිරීමට යොදාගෙන තිබේ. නිලධාරීන්ට ආහාර ගැනීමට හෝ ඉඩක් නැත. ඔවුන්ට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් හෝ මේ ස්ථානයේ නැත.
එබැවින් මෙවන් තත්ත්වයක් තුළ තමන්ට රාජකාරී කිරීමට ඉතා අපහසු බවත් දැඩි මානසික පීඩනයකින් කටයුතු කිරීමට සිදුව ඇති බවත් ඔවුහු පවසති. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක රාජකාරී සඳහා සුදුසු නොවන ගොඩනැගිල්ලක මෙලෙස රාජකාරී සඳහා යෙදවීම දඬුවමක් ලෙස සළකන බව ද සෞඛ්‍ය සේවකයෝ ම කියති.
මහජන සෞඛ්‍ය හෙද සොයුරිය, පරිපාලන මහජන සෞඛ්‍ය පරපීක්ෂක ඇතුළු සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකරවු මෙම ලිපිය අත්සන් කර යොමුකර තිබේ.