-5.9 C
New York

කරාපිටිය රෝහලේ PCR කරද්දී වැරදි තොරතුරු දෙන ආසාදිතයන් නිසා දැඩි අවදානමක්

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයෙන් PCR පරීක්ෂණ සිදුකරගන්නා ඇතැම් පුද්ගලයන් ‍කොරෝනා ආසාදිතයන් බවට තහවරු වීමෙන් පසු ඔවුන් සොයාගත නොහැකි වීමේ බරපතල ගැටලුවක් ඇතැයි ගාල්ලේ මහජන පරීක්ෂකවරු චෝදනා කරති.

කොරෝනා රෝග ලක්ෂණ ඇති පුද්ගලයන්ට කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණ නොමිළයේ ම PCR පරීක්ෂණයක් සිදුකර ගැනීමේ අවස්ථාව ඇත. එලෙස පැමිණෙන රෝගීන් එම ස්ථානයේ ලියාපදිංචි වී නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා ජංගම දුරකථන අංකය ලබා දෙයි. මෙය කිසිදු ලේඛනයක් පරීක්ෂා කිරීමකින් තොරව ඔවුන් පවසන දේ ලියා ගැනීමකි.

ඉන් අනතුරුව එම ස්ථානයේ සිටින වෛද්‍යවරයකු හා තමන්ට ඇති රෝග ලක්ෂණ හා සංකූලතා ප්‍රකාශකළ විට PCR පරීක්ෂණයකට යොමුකිරීම, ඖෂධ නියමකිරීම හෝ රෝහල්ගත වීමට නිර්දේශ කිරීම සිදුවෙයි. රෝහල්ගත නොවී PCR පරීක්ෂණයක් සිදුකරගන්නා පුද්ගලයකුට එම ස්ථානයෙන් ම ජෛව සාම්පල ලබාදීමට අවස්ථාව හිමිවෙයි.

එලෙස ජෛව සාම්පල ලබාදෙන පුද්ගලයන්ට තම පුද්ගලික රථයකම නිවසට ගොස් වෙනත් අය හා සම්බන්ධ නොවී ආරක්ෂිතව සිටින ලෙසත් PCR ප්‍රතිඵල නිකුත් වූ පසු ඒ බව දුරකථනයට දැනුම් දෙන බවත් රෝහලෙන් පවසයි.

රෝහලේ දී මෙලස PCR සිදුකරන බාහිර රෝගියකු ආසාදිත බව තහවුරු වුවහොත් ඒ බව ඔහු පදිංචි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ද දැනුම්වත් කිරීම සිදුවේ.

නමුත් ගැටලුව ඇත්තේ මෙලෙස නම ලිපනය සහ දුරකථන අංක ලබාදෙන පසුව ආසාදිත බව තහවුරු කරගන්නා පුද්ගලයන්ගෙන් සැළකිය යුතු පිරිසක් ව්‍යාජ දුරකථන අංක ලබා දී තිබීමයි. ඇතැම් පිරිස් ලබා දෙන ලිපිනයන් අනුව ඔවුන් සොයා යන විට එවැනි ලිපිනයක් හෝ එවැනි පුද්ගලයකු හෝ නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. මෙහි වඩාත් හානිදායකම තත්ත්වය වන්නේ එවැනි පුද්ගලයන් නිරෝධායනයට හෝ ලක් නොවී සමාජය තුළ තවදුරටත් කොරෝනා ව්‍යාප්තකරමින් සිටීමයි.

මෙය බරපතල තත්ත්වයක් බවත් රෝහලට මෙලෙස වැරදි තොරතුරු ලබාදීම පිළිබඳ කවර හෝ ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වාදෙති.

Related articles

Recent articles

spot_img