ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරඟ 03කින් සමන්විත විස්සයි – 20 තරඟාවලියේ පළමු තරඟය පහසුවෙන් ජයගනිමින් එංගලන්තයට තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.
නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 129ක් ලබාගත් අතර එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17.1 දී කඩුළු 02ක් පමණක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේ තවත් පන්දු 17ක් ඉතිරිව තිබිය දී කඩුළු 08කින් ජයගනිමිනි.
ප්‍රතිවාදී එංගලන්ත කණ්ඩායමට අභියෝගයක් විය හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් පිතිකරුවන් විසින් ලබා නොදුන් බැවින් දැඩි පීඩනයක් යටතේ පන්දු යැවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංග පමණක් තම පන්දුවාර 04 ලකුණු 12කට සීමා කිරීමට සමත්විය. මේ අතර දුෂ්මන්ත චමීර සහ ඉසුරු උදාන දෙදෙනා ද ලකුණු 08කට වඩා අඩුවෙන් එංගලන්ත පිතිකරුවන් තබාගැනීමට සමත්විය.
එංගලන්ත කණ්ඩායම තම Power Play අවස්ථාවේ දී ලකුණු 10කට වඩා වැඩි වේගයක් රඳවා ගනිමින් ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 61ක් රැස් කළේ ඔවුන්ගේ ඉලක්කය ඉතාමත් පහසු කරමිනි. ජෝස් බට්ලර් සහ ජේසන් රෝයි දෙදෙනා පන්දු 55ක දී තම සම්බන්ධතාව 80ක් දක්වා ඉහළ දමාගත්තේ සෙසු පිතිකරුවන්ට තවත් ලකුණු 50ක් පමණක් රැස්කිරීමට ඉතිරි කරමිනි.
බට්ලර් එංගලන්ත ජයග්‍රහණය දක්වාම කඩුල්ලේ රැඳී සිටියේ පන්දු 55 කදී ලකුණු 68 ක් රැස් කර ගනිමිනි. හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමඟින් බට්ලර් රැස් කළ ඉනිම හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමිවිය.
කාසියේ වාසියත් දිනාගැනීමත් සමඟ පළමු පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා තීරණය කළ ද ආරම්භය සුබවාදී වූයේ නැත. දෙවැනි පන්දුවාරයේදීම අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු නොලබා ම දැවී යෑමන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු බුරුලක් නොදුන් එංගලන්ත පන්දු යවන්නෝ ලකුණු 50 ක් ලකුණු පුවරුවට එකතු වද්දී ඉදිරි පෙළ පිතිකරුවන් 04 දෙනකු නරඹන්නන් බවට පත් කළහ.
තම පිතිකරුවන් එකා පසු පස එකා යළි ක්‍රීඩාගාරයට යද්දී එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටි නායක කුසල් පෙරේරා, දසුන් ශානක සමඟ එක්ව ඉනිම ගොඩ නැංවීමට උත්සාහ දැරුවද අදිල් රශීඩ්ගේ පන්දු යැවීම ඊට හරස් විය. රශීඩ්ගේ පන්දුවට ගැසූ පහර උඩ පන්දුවක් වශයෙන් ක්‍රිස් ජෝර්ඩ්න් රැකගන්නා විට ශ්‍රී ලංකා නායකයා පන්දු 26 කදී ලකුණු 30 ක් රැස් කරගෙන සිටියේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සාර්ථක ම පිතිහරඹය දියත් කළ දසුන් ශානක පන්දු 44 කදී ලකුණු 50 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව ගෞරවාන්විත තලයකට රැගෙන ගියේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 කින් වර්ණවත් වුණු දසුන් ඉනිමේ අවසන් පන්දුවේදී දැවී ගියේය. මෙය දසුන්ගේ විස්සයි-20 තරග දිවියේ දෙවැනි අර්ධ ශතකයයි.
තරඟාවලියේ දෙවැනි තරගය අද (24) කාඩිෆ්හි සොෆියා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී ම පැවැත්වේ.