දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයන්ට කොරෝනා මර්ධන එන්නත නොදී කොළඹ ඇතුළු බස්නාහිර පළාතෙන් පැමිණි අයට හොර පාරේ එන්නත් ලබාදීම තමන් හෙළා දකින බවත් සෞඛ්‍ය සේවකයන් සියලු දෙනාට කඩිනමින් එන්නත් නොදෙන්නේ නම් වැඩ වර්ජනයකට යොමුවන බවත් දකුණු පළාත් සුව මිතුරෝ සංගමය පවසයි.
එම සංගමය මේ බව කියා සිටියේ අද (23) කරාපිටියේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි.
එහි දී අදහස් දැක්වූ දකුණු පළාත් සුව මිතුරෝ සංගමයේ සභාපති දක්ෂිණ ප්‍රදීප් මෙසේ කීවේය.
දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයන් සියලු දෙනාට කොරෝනා එන්නත් දුන්නා යැයි කියමින් සෞඛ්‍ය අංශ පිටස්තර පුද්ගලයන්ටත් කොරෝනා එන්නත් දෙනවා. නමුත් රෝගීන් සමඟ ඉතාමත් සමීපව කටයුතු කරන්න සිදුව තිබෙන ආයුර්වේද සහායකයන්ට තවමත් කොරෝනා මර්ධන එන්නතේ එකම මාත්‍රාවක්වත් ලැබිල නැහැ. මේ ආයුර්වේද සහායකයන් දිනකට දහස් ගණනක් රෝගීන් සමඟ කටයුතු කරනවා. ඔවුන්ගේ සේවාව රෝගීන්ට වඩාත් සමීපව කරන දෙයක්. තෙල් සාත්තු කිරීම්, පත්තු බැඳීම් ආදිය පවා කරන්නේ ඔවුන් විසින්. ඒ අවස්ථාවල දී මේ ආයුර්වේද සහායකයන් කොරෝනා ආසාදිතයකුට සමීප විය හැකියි. එසේ වුවහොත් ආයුර්වේද රෝහල් වසා දැමීමට පවා සිදුවනවා. මේ අවදානම තිබිය දී කොරෝනා මර්ධන එන්නත ඔවුන්ට මෙතකේ බා නොදීම බරපතල ගැටලුවක්.”
ඔහු පවසන්නේ වෘත්තීය සමිති මට්ටමින් අවස්ථා කිහිපයක් ම මෙම ගැටලුව පෙන්වා දී ආයුර්වේද සහායකයන්ට කොරෝන එන්නත් ඉල්ලා සිටි බවයි. නමුත් ඔවුන්ට එකම මාත්‍රාක්වත් ලබා නොදී කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවකයන් නොවන ව්‍යාපාරිකයන්ට හා සුපිරි ධනවතුන් සඳහා එන්නත් ලබා දුන් බවටත් එම සංගමය චෝදනා කරයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා මර්ධන එන්නත් අතිරික්තයක් තිබුණේ නම් කළ යුතුව තිබුණේ ආයුර්වේද සහායකයන් වැනි සෞඛ්‍ය සේවකයන්ට එන්නත් ලබාදීම බවත් ඔහු පවසයි.
“මෙය ඉතාමත් අසාධාරණ දෙයක්. ආයුර්වේද සහායකයන්ට එන්නත් ඉක්මණින් නොදුන්නොත් අපි වෘත්තීය සමිති මට්ටමින් වැඩ වර්ජනයක් ඉකමණින් ම ආරම්භ කරනවා.” යැයි ද දක්ෂිණ ප්‍රදීප් වැඩිදුරටත් කීවේය.