ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන්ට කොරෝනා වැළඳීමේ අවදානම වැඩි දැයි පැහැදිළි නැතත් දියවැඩියා රෝගියකුට කොරෝනා ආසාදනය වූ විට මරණයට පත්වීමේ අවදානමක් ඇති බැවින් දියවැඩියා රෝගීන් වඩාත් ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකාවේ අන්තරාසර්ග විශේෂඥයන්ගේ විද්‍යාලය පවසයි.
ඔවුන් පවසන්නේ කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සෑම දිනකම රෝගීන් විශාල සංඛ්‍යාවක් සහ මරණ වාර්තාවන බවයි. එවැනි තත්ත්වයක් තුළ දියවැඩියා රෝගීන් වැරදි මතවල එල්බගෙන සිටීම සහ නිසි තොරතුරු නොමැතිවීම හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව සිටියි.
දියවැඩියා රෝගීන් කොරෝනා මර්ධනය සඳහා ඇති කවර වූ හෝ එන්නතක් කඩිනමින් ලබාගැනීම ද වැදගත් බව ඔවුන් පෙන්වාදෙයි.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර අවශ්‍ය වන හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමේ අවදානම ද ඔවුන්ට ඇත. දියවැඩියා රෝගියකුට කොරෝනා ආසාදනය වුවහොත් සාමාන්‍ය පුද්ගලකුට කොරෝනා ආසාදනය වීමට සාපේක්ෂව ශ්වසන අපහසුතා ඇතිවීමේ දැඩි අවදානමක් වතී.
මෙරට සිදුව ඇති මරණවලින් 84% ට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇත්තේ කොරෝනා ආසාදනය සමඟ ඇති වෙනත් නිදන්ගත රෝග හේතුවෙනි. දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, නිදන්ගත වකුගඩු රෝග සහ පිළිකා සහිත පුද්ගලයන්ගේ මරණ වැඩිපුර වාර්තා වී තිබේ.
දියැවැඩියාව ඇති පුද්ගලයන්ට දියවැඩියාව පමණක් නොව ඇතැම් අවස්ථාවල දී ඒ සමඟ ඇති වූ පෙර දැක්වූ අනෙකුත් අතුරු ආබාධ ද තිබිය හැකි බැවින් මෙම වසංගතයෙන් අතිශයින්ම ප්‍රවේශම් වීම අත්‍යාවශ්‍ය වේ.
කෙසේ වෙතත්, දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම පාලනය කර ඇත්නම් සහ ඔවුන්ට වෙනත් අතුරු ආබාධ නොමැතිනම් කොරෝනා හේතුවෙන් බරපතල සංකූලතා ඇති නොවන බව ද වෛද්‍ය මතයයි.
දියවැඩියාවෙන් පෙළෙන අය නිසි පරිදි වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ඊට අවශ්‍ය ඖෂධ ගනිමින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරගෙන හා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවන්ට අනුගත වීමෙන් සහ මෙම වසංගත කාලයේ දී සුරක්ෂිත වීමට හැකියාව තිබේ.
එමෙන්ම නිතිපතා ව්‍යායාම අධික කාබෝහයිඩ්‍රේට් ආහාර මෙන්ම රසකැවිලි වලින් වැළකී සිටීමට උත්සාහ කළ යුතු අතර අන් අය සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී තම නිවසට වී හැකිතාක් ආරක්ෂාවීම වඩාත්ම සුදුසුම ක්‍රමය බව අන්තරාසර්ග විශේෂඥවරු කියති.
අනවශ්‍ය බියක් හේතුවෙන් දියවැඩියා රෝගීන් COVID එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන බව ද නිරීක්ෂණය කර තිබේ. මෙය ඉතාමත් ඛේදජනක තත්ත්වයකි. කොරෝනා වසංගතයෙන් වැළකී සිටීමට ඇති එකම ක්‍රමය කොරෝනා මර්ධන එන්නතක් ලබාගැනීම නොවූව ද එය ආරක්ෂාවීමට සහ මරණයෙන් ගැලවීම සඳහා ඇති හොඳම ක්‍රමය වෙයි.